දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ යන මහත්වරුන්ට එරෙහිව පවරා ඇති නඩුව ලබන 29 වනදා තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (13) නියෝග කළේය.
මෙම නඩුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ගොනු කර ඇති අතර, එය කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල මහතා හමුවේ අද කැඳවනු ලැබීය.
හිදී දැනට ඇප මත පසුවන විත්තිකරුවන් වන හිටපු නාවික හමුදාපතිවරයා සහ යෝෂිත රාජපක්ෂ යන දෙදෙනාම අධිකරණය හමුවේ පෙනී සිටියහ. අදාළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව නඩුව ලබන 29 වනදා යළි කැඳවීමට නියම කළ විනිසුරුවරයා, එදිනට ද අධිකරණයේ පෙනී සිටින ලෙස විත්තිකරුවන්ට වැඩිදුරටත් නියෝග කළේය.
2006 සැප්තැම්බර් 01 වනදා සහ 2007 ජූනි 08 වනදා අතර කාලසීමාව තුළ නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කරමින්, යෝෂිත රාජපක්ෂ මහතාට අයුතු සහගත ලෙස බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ පාඨමාලාව හැදෑරීමට අවස්ථාව සලසා දී රජයට පාඩුවක් සිදුකළ බවට හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව චෝදනා එල්ල වී ඇත.
එමෙන්ම, අදාළ ක්‍රියාව හරහා අයුතු සහගත ලෙස ලාභයක් ලබාගැනීම සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව චෝදනා ගොනු කර තිබේ. මෙම සිදුවීමට අදාළව විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව අල්ලස් කොමිසම මඟින් අධිචෝදනා 08ක් යටතේ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇත.
