NextWatch

කෙහෙළියට එරෙහිව අපහාස පෙත්සමක්!

ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයක් ඉටු නොකිරීම තුළින් අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා කරමින්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට සහ තවත් කිහිප දෙනෙකුට එරෙහිව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කර ඇත.

පසුගිය මාර්තු 27 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දුන් තීන්දුවකට අනුව, ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවූ අක්‍රමිකතා හරහා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ වරදට හිටපු අමාත්‍යවරයා විසින් රුපියල් මිලියන 75ක මුදලක් රජයට වන්දි ලෙස ගෙවිය යුතුව තිබුණි. ඊට අමතරව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය එස්.ඩී. ජයරත්න සහ එහි ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර යන මහතුන්ට ද රුපියල් මිලියන 50 බැගින් වන්දි ගෙවන ලෙස එමඟින් නියෝග කර තිබුණි.

කෙසේ වෙතත්, අදාළ වගඋත්තරකරුවන් එම නියෝගයට අනුකූලව මෙතෙක් කටයුතු කර නොමැති බවත්, එම ක්‍රියාකලාපය හරහා ඔවුන් අධිකරණයට සිතාමතාම අපහාසයක් සිදු කර ඇති බවත් ට්‍රාන්ස්පේරන්සි සංවිධානය සිය පෙත්සම මගින් පෙන්වා දී ඇත.

ඒ අනුව, ලබා දුන් නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීමට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) වගන්තිය සහ 2024 අංක 08 දරන අධිකරණ ආයතනවලට අපහාස කිරීමේ පනත යටතේ අදාළ වගඋත්තරකරුවන්ට එරෙහිව සුදුසු නීතිමය පියවර ගන්නා ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Exit mobile version