රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතරතුර කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබන ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ඉදිරි හෘද ප්රතිකාර තීරණය කිරීම සඳහා වෛද්ය මණ්ඩලයක් පත් කිරීමට තීරණය කර තිබෙනවා.
ජාතික රෝහලේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ ඇයගේ හෘද සම්බන්ධ ඉදිරි ප්රතිකාර තක්සේරු කිරීම සඳහා මෙම තීරණය ගත් බවයි.
මේ අතර, රුපියල් මිලියන 10ක රජයේ මුදල් සාපරාධී සාවද්ය පරිහරණය කිරීම සම්බන්ධ නඩුවට අදාළව ශිරන්ති රාජපක්ෂ මහත්මිය ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඊයේ (13) කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය නියෝග කළා. මෙම නඩුවේ අනෙක් සැකකරු වන්නේ රාජ්ය බැංකුවක හිටපු සභාපති ප්රදීප් කාරියවසම් මහතායි.
වෛද්ය ප්රතිකාර සඳහා සිංගප්පූරුවට ගොස් සිටි ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඔක්තෝබර් 5 වැනිදා යළි දිවයිනට පැමිණියා. තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා ඇය මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුම්පතක් ද ඉදිරිපත් කර තිබුණා.
සිරිලිය සවිය ගිණුම සම්බන්ධ චෝදනා
මහජන බැංකුවේ සුදුවැල්ල ශාඛාවේ සිරිලිය සවිය ගිණුම ආරම්භ කිරීමේදී ඉදිරිපත් කළ තොරතුරු සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී තිබෙනවා.
වාර්තා වන පරිදි, ගිණුමට අදාළ ලේඛනවල ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ජාතික හැඳුනුම්පත් අංකය ලෙස 222222222V සඳහන් වී තිබෙනවා. එම අංකය ඇයගේ සැබෑ අනන්යතා තොරතුරුවලට අදාළ වන්නේද යන්න සම්බන්ධයෙන් මතු වී ඇති කරුණු ද මෙම සිද්ධියට අදාළව අවධානයට ලක්ව තිබෙනවා.
