සාමණේර හිමිනමකට ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවට වරදකරු වී සිටින බෞද්ධ භික්ෂුවකට නියම කළ වසර 10ක බරපතළ වැඩ සහිත සිරදඬුවම සහ වරදකරු කිරීම අභියාචනාධිකරණය විසින් තහවුරු කර තිබෙනවා.
ඒ අනුව, එම තීන්දුවට එරෙහිව අදාළ භික්ෂුව ගොනු කළ අභියාචනය අධිකරණය විසින් නිෂ්ප්රභ කර තිබෙනවා.
විනිසුරු අමල් රණරාජ සහ ආචාර්ය සුමුදු ප්රේමචන්ද්ර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් මෙම තීන්දුව ලබාදී තිබෙනවා.
දණ්ඩ නීති සංග්රහයේ 365B(2)(b) වගන්තිය යටතේ බරපතළ ලිංගික අපයෝජන චෝදනා දෙකකට අදාළව පොළොන්නරුව මහාධිකරණය විසින් මෙම භික්ෂුව වරදකරු කර තිබුණා.
2014 නොවැම්බර් 23 සහ 2015 ජනවාරි 23 යන දිනවල සිදුවූ බව කියන සිද්ධීන් සම්බන්ධයෙන් මෙම චෝදනා එල්ල වී තිබූ අතර, එම කාලයේදී වින්දිත සාමණේර හිමිනම හත් හැවිරිදි වියේ පසුව තිබෙනවා. ඔහු චූදිත භික්ෂුව වැඩසිටි විහාරස්ථානයේ නේවාසිකව සිට ඇති බවද සඳහන්.
මහාධිකරණය එක් එක් චෝදනාවට වසර 10 බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබූ අතර, එම සිරදඬුවම් සමගාමීව ගෙවී යා යුතු බවට නියෝග කර තිබුණා. ඊට අමතරව එක් චෝදනාවකට රුපියල් 50,000ක දඩයක් සහ වින්දිතයාට රුපියල් 100,000ක වන්දියක් ගෙවීමටද නියම කර තිබුණා.
අභියාචනය විභාග කළ අධිකරණය සඳහන් කළේ, වින්දිතයා සිද්ධීන් පිළිබඳව සවිස්තරාත්මක හා ස්ථාවර සාක්ෂියක් ලබාදී ඇති බවයි. හරස් ප්රශ්නවලදී මතු වූ පරස්පරතා ප්රධාන චෝදනාවලට අදාළ නොවන බවද විනිසුරු මඬුල්ල පෙන්වා දී තිබෙනවා.
ඒ අනුව, වින්දිතයාගේ සාක්ෂිය විශ්වාසදායක බව තහවුරු වූ පසු එම සාක්ෂි මත පදනම්ව තීන්දුවක් ලබාදීමට නඩුව විභාග කළ විනිසුරුවරයාට හැකියාව ඇති බව අභියාචනාධිකරණය තීරණය කර තිබෙනවා.
නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න මහතා අධිකරණය හමුවේ පෙනී සිටියා.
