NextWatch

ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහය දෙන බවට IMF සහතික වෙයි.

ශ්‍රී ලංකාවේ විශ්වාසවන්ත සහකරුවෙකු ලෙස IMF ඉදිරියටත් රැඳී සිටින බව එහි ආසියා පැසිෆික් නියෝජ්‍ය ප්‍රධානී සොනාලි ජේන්-චන්ද්‍රා මහත්මිය අවධාරණය කරයි.

තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකු සමූහයේ වාර්ෂික හමුවට සමගාමීව අද (15) පෙරවරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය. ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික ප්‍රගතිය පිළිබඳව අදහස් දක්වමින් ඇය පෙන්වා දුන්නේ, ක්‍රියාත්මක වන වත්මන් මූල්‍ය වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව මේ වනවිටත් සැලකිය යුතු ආර්ථික ජයග්‍රහණ රැසක් අත්කරගෙන ඇති බවයි.

වත්මන් මූල්‍ය වැඩසටහන නිමාවට පත්වීමෙන් පසු, යළිත් නව මූල්‍ය හෝ තාක්ෂණික සහාය වැඩසටහනක් ඉල්ලා සිටින්නේද යන්න තීරණය කිරීමේ පූර්ණ අයිතිය ඇත්තේ ශ්‍රී ලංකා බලධාරීන්ට බවද ඇය මෙහිදී පැහැදිලි කළාය.

කෙසේ වෙතත්, නව මූල්‍ය සම්පාදන වැඩසටහනක්, නිරීක්ෂණ රාමුව යටතේ ලබාදෙන නිශ්චිත ප්‍රතිපත්ති උපදෙස් හෝ ධාරිතා සංවර්ධන වැඩසටහන් වැනි ඕනෑම ක්‍රමවේදයක් ඔස්සේ ශ්‍රී ලංකාවට අඛණ්ඩව අවශ්‍ය සහාය ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පූර්ණ සූදානමින් සිටින බව සොනාලි ජේන්-චන්ද්‍රා මහත්මිය වැඩිදුරටත් අවධාරණය කර සිටියාය.

Exit mobile version