අතුරුදන්ව සිටින අග්බෝ ඇතා සොයා සිදුකරන මෙහෙයුම් කටයුතු පිළිබඳව අඛණ්ඩව දැඩි අවධානයෙන් පසුවන බව පරිසර අමාත්යාංශය පවසයි.
වනජීවී නිලධාරීන් සහ යුද හමුදාව ඒකාබද්ධව ඊයේ (18) දිනය පුරාම විශේෂ සෝදිසි මෙහෙයුම් දියත් කර ඇති අතර, අද (19) දිනයේදීත් එම කටයුතු අඛණ්ඩව ක්රියාත්මක කරන බවයි එම අමාත්යාංශය වැඩිදුරටත් නිවේදනය කරන්නේ.
21 වන පාබල සේනාංකයේ සෙබළුන් ඊයේ දිනයේදී මෙම මෙහෙයුම් සඳහා එක්ව තිබේ. මේජර් ජෙනරාල් කමින්ද සිල්වා, බ්රිගේඩියර් බස්නායක සහ මේජර් සිල්වා ඇතුළු කණ්ඩායමක් විසින් එහෙයිය වැව සිට මහකනදරාව දක්වා ජලය රැගෙන යන ඇළ මාර්ගයේ දකුණු ඉවුර කේන්ද්ර කරගනිමින් මෙම සෝදිසි කිරීම් සිදු කර ඇත.
මෙම මෙහෙයුම් අතරතුරදී අග්බෝ ඇතාගේ ස්වරූපයට සමාන දළ ඇතෙකු සහිත අලි රංචුවක් නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්වී තිබේ. කෙසේ වෙතත්, එම සතා අග්බෝ ද යන්න නිශ්චිතවම තහවුරු කරගැනීම සඳහා යුද හමුදා සෙබළුන් සහ වනජීවී නිලධාරීන් එම ස්ථානයට ළඟා වීමට උත්සාහ කිරීමේදී, අදාළ අලි රංචුව ඒ ආසන්නයේ වූ ඝන කැලෑවකට ඇතුළු වී ඇති බවයි වාර්තා වන්නේ.
අග්බෝ ඇතා සිටින නිශ්චිත ස්ථානය තහවුරු කරගැනීම සහ ඊට අදාළ ඉදිරි කටයුතු සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන් වනජීවී සහ යුද හමුදා ඒකාබද්ධ මෙහෙයුම් තවදුරටත් ක්රියාත්මක බව පරිසර අමාත්යාංශය අවධාරණය කරයි.
