ඥානසාර හිමියන් නිදහස් කරගැනීමේ පාද යාත්රාව පිටුපස සිටින්නේ විමල්, ගම්මන්පිල ඇතුළු පරාජිත දේශපාලන කණ්ඩායමක් බවත්, මෙය ඔවුන්ගේ අවසාන තුරුම්පුවක් බවත් සමාජ-දේශපාලන විශ්ලේෂක විදර්ශන කන්නන්ගර පවසයි.
රාජපක්ෂ පවුල් සමාගමට එරෙහි නීතිමය ක්රියාමාර්ග දැඩි වන විට මෙවැනි කූට උපායන් යොදාගැනීම පරාජිත දේශපාලකයින්ගේ සිරිතක් බවත්, ජනතාව දැන් සබුද්ධික බැවින් මෙවැනි උපක්රමවලට නොරැවටෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. නැවත වරක් රටේ පාලනය රාජපක්ෂවරුන් අතට ගියහොත් රට තුළ ජාතිවාදය යළි හිස ඔසවනු ඇති බවද ඔහු සඳහන් කළේය.
තවද, විශ්වවිද්යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය, නීතිඥ සංගමය සහ වෛද්ය සංගම් මෙහෙයවනු ලබන්නේ සජිත් ප්රේමදාස සහ රාජපක්ෂවරුන් විසින් බවට චෝදනා කළ කන්නන්ගර මහතා, 22 වන සංශෝධනයට එරෙහිව හඬ නැඟූ නීතිඥ සංගමය ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කිරීම හමුවේ නිහඬව සිටින්නේ මන්දැයි ප්රශ්න කළේය.
විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා විකටයෙකු ලෙස හඳුන්වමින් ඔහු යළිත් ජාතිවාදය අවුස්සමින් සිටින බව පැවසූ ඒ මහතා, දෙමළ, මුස්ලිම් සහ කඳුරට ජනතාවට නැවතත් එවැනි පරාජිතයින්ව බලයට ගෙන ඒමට පෙර මහනුවර දිගන ප්රදේශයේ ඇතිවූ අවාසනාවන්ත අරගල මතකයට නගාගන්නා ලෙස ඉල්ලා සිටියේය. මෙකී සියලු සිදුවීම් පිටුපස හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහද ප්රධාන ඒජන්තවරයෙකු ලෙස ක්රියා කරන බව විදර්ශන කන්නන්ගර වැඩිදුරටත් සඳහන් කළේය.
