NextWatch

සජබයට බලය හිමිව තිබූ පාතහේවාහැට ප්‍රාදේශීය සභාව අත්හිටුවයි!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු මහතා විසින් පාතහේවාහැට ප්‍රාදේශීය සභාව අත්හිටුවා එහි බලතල මහනුවර දිස්ත්‍රික් පළාත් පාලන සහකාර කොමසාරිස්වරිය යටතට පත් කර තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය පසුගිය 19 වැනිදා නිකුත් කර ඇති අතර, ඒ අනුව සභාවේ සහ සභාපතිවරයාගේ බලතල හා කාර්යයන් ක්‍රියාත්මක කිරීම මහනුවර දිස්ත්‍රික් පළාත් පාලන සහකාර කොමසාරිස් ඒ.ඩබ්ලිව්. ජී.එල්. අත්තනායක මහත්මියට පවරා තිබෙනවා.

ප්‍රදේශයේ ජනතාවට ප්‍රතිලාභ සැලසෙන ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාත්මක නොකළ බවට ලැබුණු මහජන පැමිණිලි සැලකිල්ලට ගෙන, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට ආණ්ඩුකාරවරයා විසින් විශ්‍රාමලත් අධිකරණ නිලධාරී නිහාල් සුනිල් රාජපක්ෂ මහතා පත් කර තිබුණා. ඊට අදාළ ගැසට් නිවේදනය පසුගිය සැප්තැම්බර් 22 වැනිදා නිකුත් කර තිබෙනවා.

1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත යටතේ පැවරී ඇති බලතල අනුව සභාව අත්හිටුවා සහකාර කොමසාරිස්වරියගේ පාලනය යටතට පත් කිරීමට ආණ්ඩුකාරවරයා පියවර ගෙන තිබෙනවා.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ සභික ධුර 43න් 25ක් ඒකාබද්ධ විපක්ෂයටත්, 18ක් ජාතික ජනබලවේගයටත් හිමිව තිබුණා. පසුව සමගි ජනබලවේගය ඇතුළු පක්ෂ කිහිපයක් එක්ව සභාවේ බලය පිහිටුවා තිබූ අතර, එහි සභාපති ධුරයට සමගි ජනබලවේගයේ නියෝජිතයෙකු පත්ව තිබුණා.

අල්ලස් චෝදනාවකට ලක්ව සිටි සභාපති ක්‍රිෂාන්ත රාජනායක මහතා ඉල්ලා අස්වීමෙන් පසු එම ධුරය පුරප්පාඩු වී තිබූ අතර, වැඩ බැලීම සඳහා උප සභාපතිවරයා තාවකාලිකව පත් කර තිබුණා.

නව සභාපතිවරයෙකු තෝරා ගැනීම සඳහා මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස්වරිය අවස්ථා තුනකදී සභාව කැඳවා තිබුණත්, ගණපූරණය නොමැතිවීම හේතුවෙන් එම අවස්ථා තුනේදීම සභාපතිවරයෙකු තෝරා ගැනීමට හැකි වී නැහැ.

එමෙන්ම, පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය විසින් කොමසාරිස්වරියගේ නියෝග හා උපදෙස් නොපිළිපැදීම, අකීකරු වීම සහ නොසැලකිලිමත් වීම සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයාට කරුණු වාර්තා කර තිබෙනවා.

Exit mobile version