නැවත යුද්ධයක් ඇති වුවහොත් හෝමූස් සමුද්ර සන්ධියේ මුහුදු පතුලේ අන්තර්ජාල කේබල් සහ අමෙරිකානු තාක්ෂණික යටිතල පහසුකම් ඉලක්ක කරන බවට ඉරානය අනතුරු අඟවයි.
ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බළකායේ (IRGC) ප්රකාශක හොසේන් මොහෙබිගේ ප්රකාශයක් උපුටා දක්වමින් ඉරාන ෆාර්ස් පුවත් ඒජන්සිය වාර්තා කරන්නේ, ඉදිරියේදී යළිත් යුදමය තත්ත්වයක් හටගතහොත් පෙරටත් වඩා දැඩි ප්රතිචාරයක් දැක්වීමට ඉරානය සූදානම් බවයි. එහිදී අමෙරිකාවට දැඩි බලපෑම් එල්ල වන අතරම ලෝකයද මහත් බලශක්ති අර්බුදයකට මුහුණදෙනු ඇති බව හෙතෙම සඳහන් කර තිබේ.
හෝමූස් සමුද්ර සන්ධිය හරහා ගෝලීය අන්තර්ජාල සම්බන්ධතා සහ වාණිජ දත්ත හුවමාරුව සඳහා අතිශය වැදගත් වන ප්රධාන මුහුදු පතුලේ කේබල් හතක් දිවෙන බව පෙන්වා දෙන ඉරාන ප්රකාශකයා, අනාගත ගැටුමකදී නව ඉලක්ක හඳුනාගෙන විවිධ අවි පද්ධති මගින් ප්රහාර එල්ල කිරීමට ඉරානයට හැකියාව පවතින බවද අවධාරණය කළේය.
මීට අමතරව, ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් මොහ්සෙන් රේසායි ද මීට පෙර සඳහන් කර තිබුණේ නැවතත් යුද්ධයක් හටගත්තොත් අමෙරිකාවට සම්බන්ධ මුහුද යට අන්තර්ජාල කේබල්, දත්ත මධ්යස්ථාන සහ කෘත්රිම බුද්ධි තාක්ෂණික පහසුකම් ඉරානයේ ඉලක්ක බවට පත්වීමේ අවදානමක් පවතින බවයි.
පසුගිය පෙබරවාරි 28 වැනිදා අමෙරිකාව සහ ඊශ්රායලය ඉරානයට එරෙහිව යුද්ධයක් ආරම්භ කළ අතර, ඊට ප්රතිචාර ලෙස ඉරානය මිසයිල සහ ඩ්රෝන ප්රහාර එල්ල කරමින් හෝමූස් සමුද්ර සන්ධියේ නාවික ගමනාගමනය අඩාල කිරීමට කටයුතු කළේය. පසුව ජුනි මාසයේදී නිදහස් නාවික ගමනාගමනය උදෙසා අමෙරිකාව සහ ඉරානය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කළද, ආරක්ෂක මතභේද හේතුවෙන් මේ වන විට එම ගිවිසුම ක්රියාත්මක කිරීමේ කටයුතු ඇණහිට තිබේ.
