NextWatch

නව ත්‍රස්ත පනතේ පෙත්සම් විභාගය අද

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ’ නව පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාග කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආරම්භ කර තිබේ.

මෙම ආන්දෝලනාත්මක පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් මේ වන විටත් පෙත්සම් 25කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇත. අදාළ පෙත්සම් විභාගය පැවැත්වෙන්නේ, ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේදීය.

අදාළ පනත් කෙටුම්පතෙහි අන්තර්ගත ඇතැම් වගන්ති හරහා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජනතාවට සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව පෙත්සම්කරුවන් සිය පෙත්සම් මගින් පෙන්වා දී තිබේ.

ඒ අනුව, අදාළ ගැටලු සහගත වගන්ති සම්මත කිරීමට රජය අපේක්ෂා කරන්නේ නම්, ඊට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයක් මෙන්ම ජනමත විචාරණයක අනුමැතිය ද අනිවාර්ය වන බවට නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

Exit mobile version