NextWatch

කාවන්තිස්ස හස්තියාගේ මරණය ගැන ස්වාධීන පශ්චාත් මරණ පරීක්ෂණයක්

කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධයෙන් ස්වාධීන පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමට අධිකරණයෙන් අවසර ලබාගෙන ඇති බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය කාවින්ද්‍ර විජයසුන්දර මහතාගේ සහභාගීත්වයෙන් අදාළ පරීක්ෂණය සිදු කිරීමට නියමිත බවයි.

ඒ සඳහා අවශ්‍ය අධිකරණ නියෝගය ලබාගෙන ඇති බවත්, පරීක්ෂණයේ ප්‍රතිඵල සහ වාර්තාව ලැබීමට තවත් කාලයක් ගත වන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා

” කාවන්තිස්ස හස්තියාට ප්‍රතිකාර කරද්දී අපි ඔහු සැලකුවේ වනජීවී සතෙකු හැටියට නෙවෙයි. ඔහු අපේම කෙනෙක්, අපේම පුද්ගලයෙක්, මනුෂ්‍යයෙක් හැටියට සලකමින් තමයි ඒ සියලු කණ්ඩායම් මේ අවස්ථාවේදී මැදිහත් වුණේ.

නමුත් අපි කාටත් ඉතාමත් වේදනාකාරී සිදුවීමක් සිදු වුණා. අපි කවුරුත් ඒ පිළිබඳව කම්පාවට පත් වුණා. අපි ඒ තරම් මහන්සි වුණත්, ඔහුගේ රෝගී තත්ත්වය සුව කරගැනීමට නොහැකි වීම පිළිබඳව අපට කනගාටුවක් තිබෙනවා.

ඒ නිසා මේ සම්බන්ධයෙන් මූලික වගකීම පරිසර අමාත්‍යවරයා හැටියට මම භාරගන්න සූදානම්.

අපි දැක්කා වනජීවී නිලධාරීන් ඉතාමත් දුෂ්කර තත්ත්වයන් යටතේ කටයුතු කරන ආකාරය. ඔවුන් ඒ කටයුතු කරද්දී විවිධ විවේචනවලට මුහුණ දෙමින් තමයි වැඩ කළේ.

නමුත් අපි තේරුම් ගන්න ඕනෑ මේ වනජීවී නිලධාරීන් සහ පශු වෛද්‍යවරුන් වැඩ කරන්නේ සාමාන්‍ය තත්ත්වයක් යටතේ නෙවෙයි කියන එක. ඔවුන් වනාන්තර ආශ්‍රිතව, වැස්සට තෙමෙමින්, අව්වට වේළෙමින්, පහසුකම් අඩු තත්ත්වයන් යටතේ තමයි තමන්ගේ රාජකාරි ඉටු කරන්නේ.

ඒ නිසා අපේ පැත්තෙන් ඔවුන් දිරිමත් කරමින්, ඔවුන් අධෛර්යයට පත් වීමට ඉඩ නොදෙමින්, උපරිම මැදිහත්වීමක් අපි සිදු කළා.

ඉදිරියේදීත් ඔවුන් අතර ගැටලු ඇති නොවන ආකාරයටත්, ඔවුන් දිරිමත් වන ආකාරයටත්, මේ දුෂ්කරතාවලට මුහුණ දෙමින් වැඩ කිරීමට අවශ්‍ය ධෛර්යය ඔවුන්ට ලබාදෙන ආකාරයටත් අපි මැදිහත් විය යුතුයි කියලා මම යෝජනා කරනවා.

මේ සම්බන්ධයෙන් අපි අධිකරණයට වාර්තා කළා. ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයට තමයි මේ කරුණු වාර්තා කළේ.

පශ්චාත් මරණ පරීක්ෂණය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදු කිරීම සඳහා අපි අධිකරණ නියෝගයක් ලබාගත්තා. ඒ අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය කාවින්ද්‍ර විජයසුන්දර මහතා සම්බන්ධ කරගනිමින් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමට අධිකරණයෙන් අවසර ලැබුණා.

ඊට අදාළ අධිකරණ නියෝගයත් මේ මොහොතේ සභාගත කරනවා, ගරු කථානායකතුමනි.

පශ්චාත් මරණ පරීක්ෂණයේ ප්‍රතිඵල සහ ඒ සඳහා ලබාගත් සාම්පලවල වාර්තා ලැබීමට තව ටික කාලයක් ගත වෙනවා. ඒ අනුව තමයි අපට අදාළ වාර්තාව ලබාගැනීමට හැකි වෙන්නේ.

ගරු කථානායකතුමනි, මෙන්න මේ ආකාරයට තමයි අධිකරණය නියෝග කරලා තියෙන්නේ.

මියගිය හස්තියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය හා සත්ව විද්‍යා පීඨයේ පශු ව්‍යාධිවේද අංශයේ මහාචාර්ය කාවින්ද්‍ර විජයසුන්දර මහතා විසින් සිදු කර, ඊට අදාළ වාර්තාව ගරු අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි. එමෙන්ම සිරුරු කොටස් ද අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි.

ඒ වගේම ඇත්දළ ඇතුළු නඩු භාණ්ඩ ලෙස සැලකෙන කොටස් සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදු කිරීමෙන් පසු, මියගිය හස්තියාගේ මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මිහිදන් කිරීමටත්, මෙම සිදුවීමට අදාළ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කර අධිකරණයට වාර්තා කිරීමටත් නියෝග කර තිබෙනවා.

ගරු කථානායකතුමනි, සාමාන්‍යයෙන් හස්තියෙකුගේ මෘතදේහයක් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී එහි හිස සහ දළ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගන්නවා. සිරුරේ ඉතිරි කොටස මිහිදන් කරනවා.

ඒ අනුව කාවන්තිස්ස හස්තියාගේ දළ සහ හිස කොටසත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන, එම දෙපාර්තමේන්තුවේ භූමියක තැන්පත් කර තිබෙනවා. ඒවා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. අපි ඒ කටයුත්ත අවසන් කරලා තියෙනවා.

සිරුරේ ඉතිරි කොටසත් අපි මිහිදන් කරලා තියෙනවා. ඊට පෙර එම හස්තියා වෙනුවෙන් පාංශුකූලය ලබාදී, අවශ්‍ය ගෞරවය දැක්වීමෙන් අනතුරුව මිහිදන් කිරීමේ කටයුතු අවසන් කළා.

ගරු කථානායකතුමනි, දැනට අධිකරණ නියෝගයට අනුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතුයි. ඒ පරීක්ෂණ කටයුතුත් අපි ඉදිරියේදී සිදු කරනවා. “

ලෙස අවධාරණය කලේය

Exit mobile version