NextWatch

ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වරෙන්තු

අධිකරණය හමුවේ පෙනී නොසිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද විවෘත වරෙන්තුවක් නිකුත් කර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා මාර්ගයෙන් අදාළ වරෙන්තුව නිකුත් කිරීමට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට ද නියෝග කළේය. එසේම, අද අධිකරණය හමුවේ පෙනී සිටි සෙසු විත්තිකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියම කළේය.

2015 ජනාධිපතිවරණ සමයේ එවක ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කහවත්ත ප්‍රචාරක රැළියකට වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනාට රත්නපුර මහාධිකරණය මරණීය දණ්ඩනය නියම කර තිබූ අතර, පසුව අභියාචනාධිකරණය විසින් ඔවුන් නිදොස් කොට නිදහස් කරන ලදී. එම තීන්දුවට එරෙහිව අගතියට පත් පාර්ශ්වය ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම විභාග කර අවසන් වූ පසු, විත්තිකරුවන්ට අද දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබුණි.

නඩුව අද කැඳවූ අවස්ථාවේදී ප්‍රේමලාල් ජයසේකර මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර, ඔහු විදේශගතව සිටින බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා දැනුම් දුන්නේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම වරෙන්තුව නිකුත් කිරීමට නියෝග කරන ලදී.

Exit mobile version