NextWatch

ට්‍රම්ප් පාලනය යටතේ අමෙරිකානු වීසා 300,000ක් අවලංගු කෙරේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය තුළ එරට වීසා බලපත්‍ර 300,000කට අධික සංඛ්‍යාවක් අහෝසි කර ඇති බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඊයේ (20) නිල වශයෙන් ප්‍රකාශ කළේය.

ෆෙඩරල් රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන දැඩි සංක්‍රමණික මර්දන වැඩසටහනට අනුකූලව මෙම පියවර ගෙන ඇති අතර, මෑත සතිවලදී වීසා අහෝසි කිරීමේ ප්‍රවණතාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. 2025 ජනවාරි මාසයේදී ට්‍රම්ප්ගේ ධුර කාලය ආරම්භ වූ තැන් පටන් පසුගිය අගෝස්තු 10 වන විට අවලංගු කර තිබූ වීසා සංඛ්‍යාව 175,000 ඉක්මවා තිබිණි.

මෙම සංක්‍රමණික මර්දනය සහ රටින් පිටුවහල් කිරීමේ මෙහෙයුම්වල ප්‍රධාන අරමුණ දේශීය ආරක්ෂාව වැඩිදියුණු කිරීම බව ජනාධිපති ට්‍රම්ප් පවසයි. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක ටොමී පිගොට් ‘X’ සටහනක් තබමින් අවධාරණය කළේ, නීතිය උල්ලංඝනය කරන, වංචා සිදුකරන හෝ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන කිසිදු විදේශිකයෙකුට සමාව නොදෙන බවයි. මීට අමතරව, සංක්‍රමණිකයන්ගේ සහ වීසා අයදුම්කරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය දැඩි ලෙස පරීක්ෂාවට ලක් කිරීමටද අමෙරිකානු පරිපාලනය පියවර ගෙන ඇත.

කෙසේ වෙතත්, මෙම ක්‍රියාමාර්ග හේතුවෙන් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ නීත්‍යානුකූල ක්‍රියාපටිපාටි උල්ලංඝනය වන බවත්, ජනවාර්ගික සුළු ජාතීන් අතර අනාරක්ෂිත භාවයක් නිර්මාණය වී ඇති බවත් මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙයි. විශේෂයෙන්ම, ඊශ්‍රායලයේ ගාසා ප්‍රහාරවලට එරෙහිව හඬ නැඟූ පලස්තීන හිතවාදී විදේශිකයන්ගේ සහ කොන්සර්වටිව් විචාරක චාලි කිර්ක්ගේ ඝාතනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල අදහස් පළ කළ පුද්ගලයන්ගේ වීසා අවලංගු කිරීම දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ. එමෙන්ම, ඇතැම් සේවා නියුක්ති වීසා සඳහා අධික ගාස්තු අය කිරීම වැනි පියවර හරහා නීති විරෝධී සංක්‍රමණ වැළැක්වීමට අමතරව නීත්‍යානුකූල සංක්‍රමණයන් පවා දුෂ්කර කර ඇති බව විචාරකයෝ පෙන්වා දෙති.

Exit mobile version