දිවයින පුරා පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ප්රධාන ජලාශ කිහිපයකම වාන් දොරටු විවෘත කිරීමට පියවර ගෙන ඇති අතර, ඒ ආශ්රිත පහත්බිම් රැසකට මේ වන විට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
ඒ අනුව රාජාංගනය ජලාශයේ වාන් දොරටු තිහෙන් අටක් මේ වන විට විවෘත කර ඇති අතර, ඉන් තත්පරයට ඝන අඩි 7,884ක ජල ධාරිතාවක් කලාඔයට මුදා හැරේ.
ඊට අමතරව ඉහළ කොත්මලේ ජල පෝෂක ප්රදේශවලට පවතින තද වැසි හේතුවෙන් අද (22) අලුයම දක්වා විවෘත කර තිබූ වාන් දොරටු දෙකෙන් එකක් ස්වයංක්රීයව වැසී ගොස් අනෙක් දොරටුව තවදුරටත් විවෘතව පවතී. කෙසේ වෙතත් වර්ෂාව අඛණ්ඩව පැවතුණහොත් සෙසු දොරටු ද ස්වයංක්රීයව විවෘත විය හැකි බැවින් කොත්මලාඔය දෙපස පහළ නිම්නයේ ජනතාවට දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉංජිනේරුවන් දැනුම් දෙයි.
මේ අතර දැදුරු ඔය ද්රෝණියට පවතින අධික වර්ෂාව හේතුවෙන් එහි ජල මට්ටම ගංවතුර මට්ටම ආසන්නයට පැමිණ ඇත. මේ හේතුවෙන් එහි පිටවාන් දොරටු විවෘත කර තත්පරයට ඝන අඩි 16,500ක ජල ධාරිතාවක් මේ වන විට මුදාහරිමින් පවතින අතර, ජලාශයට ලැබෙන ජල ප්රමාණය අනුව එය තවදුරටත් ඉහළ දැමීමට සිදුවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
මෙම තත්ත්වය හමුවේ දැදුරු ඔය පහළ නිම්නයට අයත් වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් රැසකට දැඩි ගංවතුර අවදානමක් මතුව තිබේ. එබැවින් අදාළ ප්රදේශවාසීන්ට සහ එම මාර්ග භාවිත කරන රියදුරන්ට දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ අංශ වැඩිදුරටත් ඉල්ලා සිටී.
