හිටපු රාජ්ය අමාත්ය ඩයනා ගමගේ මහත්මිය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස නිකුත් කර තිබූ වරෙන්තුව, දැඩි අවවාද කිරීමකින් අනතුරුව ආපසු කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය අද නියෝග කළාය.
ව්යාජ තොරතුරු ඇතුළත් ලේඛන සකස් කර ජාතික හැඳුනුම්පතක් සහ විදේශ ගමන් බලපත්රයක් ලබාගැනීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව පවරා ඇති නඩුව ඉකුත් 22 වැනිදා විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස විවෘත වරෙන්තු නිකුත් කර තිබුණි.
කෙසේ වෙතත්, නීතිඥ මොහාන් සෙනෙවිරත්න මහතා මඟින් මෝසමක් ගොනු කරමින් ඩයනා ගමගේ මහත්මිය අද අධිකරණයට භාර වූවාය. එහිදී ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ, සිය සේවාදායිකාවට යෙදුණු හදිසි සහ අත්යවශ්ය ගමනක් හේතුවෙන් පසුගිය නඩු දිනයේදී අධිකරණය හමුවේ නියමිත වේලාවට පෙනී සිටීමට නොහැකි වූ බවයි.
එම කරුණු දැක්වීමෙන් අනතුරුව විවෘත අධිකරණයේ ප්රකාශයක් කළ මහාධිකරණ විනිසුරුවරිය, විත්ති කූඩුවට නැඟි පසු තරාතිරම කුමක් වුවත් සියලු දෙනාටම නීතිය එක හා සමානව ක්රියාත්මක වන බව අවධාරණය කළාය. මින් පෙර අවස්ථාවලදී ද විත්තිකාරිය මෙලෙස අධිකරණයට පැමිණීම ප්රමාද කර ඇති බව නඩු ගොනුව පරීක්ෂා කිරීමේදී පෙනී යන බව සඳහන් කළ විනිසුරුවරිය, ඉදිරියේදී නියමිත වේලාවට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ඇයට තරයේ අවවාද කළාය.
ඉන් අනතුරුව ඇයව අත්අඩංගුවට ගැනීමට නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවූ විනිසුරුවරිය, අදාළ නඩුව හෙට (28) පස්වරු 1.30ට යළි කැඳවීමට නියෝග කළාය. පසුගිය 22 වැනිදා ඇය පෙනී නොසිටි අවස්ථාවේ නිකුත් කළ නොතීසියකට අනුව ඇයගේ ඇපකරුවෙකු වන චමින්ද ජයලත් නමැත්තා ද නීතිඥ අසිත විපුලනායක මහතා මාර්ගයෙන් අද අධිකරණයේ පෙනී සිටියේය.
ශ්රී ලංකාවේ පුරවැසියකු නොවන බව දැන දැනම, ව්යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කරමින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රවටා ජාතික හැඳුනුම්පතක් සහ විදේශ ගමන් බලපත්රයක් ලබාගැනීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්රහය යටතේ අධිචෝදනා 3ක් මත ඩයනා ගමගේ මහත්මියට එරෙහිව මෙම නඩුව පවරා ඇත. නඩුවේ සාක්ෂි විභාගය අවසන්ව ඇති අතර, පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ අකිලා දල්පදාදු මහත්මිය පෙනී සිටියාය.
