NextWatch

සංවිධානාත්මක අපරාධ පනතට හියුමන් රයිට්ස් වොච් වෙතින් රතු එළියක්!

ශ්‍රී ලංකාව තුළ හඳුන්වා දීමට නියමිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව පනත් කෙටුම්පත හරහා පුද්ගලයන් අත්තනෝමතික ලෙස සිරගත කිරීම් සහ වධහිංසාවන්ට ලක්වීමේ බරපතළ අවදානමක් මතුවිය හැකි බවට ජාත්‍යන්තර ‘හියුමන් රයිට්ස් වොච්’ සංවිධානය අනතුරු අඟවා සිටියි.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ, අධිකරණමය අධීක්ෂණයකින් තොරව සැකකරුවන් දීර්ඝ කාලයක් අත්අඩංගුවේ තබාගැනීමට ආරක්ෂක අංශ වෙත මෙමගින් අසීමිත ඉඩකඩක් ලැබෙන බවයි. වඩාත් අවධානයට ලක්විය යුතු කරුණ වන්නේ, යම් පුද්ගලයෙකු අපරාධයකට සම්බන්ධ බවට නිශ්චිත සාක්ෂි නොමැති පසුබිමක පවා හුදු සැකය මත පමණක් මෙලෙස සිරගත කර තැබීමේ අනතුරක් මෙම කෙටුම්පත තුළ අන්තර්ගතව තිබීම බව එම සංවිධානය අවධාරණය කරයි.

පොලිස් භාරයේදී ලබාගන්නා පාපොච්චාරණ පදනම් කරගනිමින් පුද්ගලයන්ට දඬුවම් නියම කිරීමට මෙයින් ඉඩ සැලසෙන බැවින්, සැකකරුවන්ට වධහිංසා පැමිණවීම වක්‍රව දිරිගැන්වෙන බව හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ආසියානු කලාපීය අධ්‍යක්ෂිකා එලේන් පියර්සන් පෙන්වා දෙයි.

මෙම කෙටුම්පත වත්මන් ස්වරූපයෙන්ම නීතිගත වුවහොත්, අතීතයේ පැවති මෙවැනිම මර්දනකාරී නීති හේතුවෙන් රට තුළ සිදුවූ බරපතළ මානව හිමිකම් කඩවීම් යළි කරළියට ඒමේ පැහැදිලි අවදානමක් පවතින බව ද ජාත්‍යන්තර සංවිධානය වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

Exit mobile version