NextWatch

කර්මාන්ත අමාත්‍යවරයා සහ යුනිඩෝ අධ්‍යක්ෂ ජෙනරාල් වියානාවේදී සාකච්ඡාවක.

ලංකාවේ කර්මාන්ත නවීකරණයට එක්සත් ජාතීන්ගේ සහාය ලබාගැනීම කෙරෙහි, අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ යුනිඩෝ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ විශේෂ අවධානය යොමුව ඇත.

ඔස්ට්‍රියාවේ වියානා නුවර පැවැත්වෙන ‘බ්‍රිජ් ෆෝ සිටීස්’ ජාත්‍යන්තර සමුළුවට සමගාමීව මෙම නිල හමුව සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති අතර, එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.

2026-10-29

මාධ්‍ය නිවේදනය

මාධ්‍ය අධ්‍යක්ෂ / ප්‍රවෘත්ති කර්තෘ /
වැඩසටහන් කළමනාකාර,

ලංකාවේ කර්මාන්ත සංවර්ධනයට එක්සත් ජාතීන්ගේ සහය: වියානා නුවරදී යුනිඩෝ (UNIDO) අධ්‍යක්ෂ ජෙනරාල් සහ කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති අතර සාකච්ඡාවක්

ඔස්ට්‍රියාවේ වියානා නුවර වියානා ජාත්‍යන්තර මධ්‍යස්ථානයේදී පැවැත්වෙන ‘බ්‍රිජ් ෆෝ සිටීස්’ (Bridge for Cities) ජාත්‍යන්තර සමුළුවට සමගාමීව, අද දින (29) එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ (UNIDO) අධ්‍යක්ෂ ජෙනරාල් ගර්ඩ් මුලර් (Gerd Müller) මහතා සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අතර විශේෂ නිල හමුවක් පවත්වන ලදී. මෙරට කර්මාන්ත ක්ෂේත්‍රය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව නවීකරණය කිරීමේ අරමුණින් පැවැත්වූ මෙම සාකච්ඡාව සාර්ථකව නිමාවට පත්විය.

මෙම සාකච්ඡාවේදී මෙරට ඛනිජ සම්පත් අංශය නව මානයකට රැගෙන යාම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරිණි. ඒ අනුව, ඛනිජ ක්ෂේත්‍රයට අවශ්‍ය උසස් තාක්ෂණික සහයෝගය යුනිඩෝ ආයතනය හරහා ලබා ගැනීමටත්, ‘International Mineral Alliance Union’ (ජාත්‍යන්තර ඛනිජ සන්ධානය) හි සාමාජිකත්වය ලබා ගැනීම පිළිබඳව සාකච්ඡා ආරම්භ කිරීමටත් මෙහිදී එකඟතාව පළ විය.

එමෙන්ම, අමාත්‍යාංශය සහ යුනිඩෝ ආයතනය එක්ව දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති හතරක (4) වත්මන් ප්‍රගතිය මෙහිදී ඉතා ඵලදායී ලෙස සමාලෝචනය කෙරිණි. එම සංවර්ධන ව්‍යාපෘති වඩාත් වේගවත් හා සාර්ථක කර ගැනීමට අවශ්‍ය ඉදිරි පියවර ගැනීම පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

මීට අමතරව, මෙරට ‘Clean Sri Lanka’ වැඩසටහන සහ ප්‍රජාශක්ති ගම්මාන සහ ඵලදායිතා ගම්මාන ජාලය සමඟ යුනිඩෝ ආයතනය අත්වැල් බැඳගනිමින්, ග්‍රාමීය මට්ටමින් නිෂ්පාදන ධාරිතාව සහ ඵලදායිතාව අලුත් මඟකට ගෙන යාමට අවශ්‍ය පසුබිම සකස් කරගැනීම සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී සාකච්ඡා කළේය.

ස්තූතියි,
මෙයට විශ්වාසි,

කසුන් ගමගේ
ගරු අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය
071 6551 611

Exit mobile version