ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළ මුදල් විශුද්ධිකරණ විමර්ශනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සැප්තැම්බර් 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියෝග කළා.
කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා මෙම නියෝගය ලබාදුන් අතර, නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ඇප ඉල්ලීම සම්බන්ධ තීන්දුවද සැප්තැම්බර් 23 වැනිදා ප්‍රකාශයට පත් කරන බව සඳහන් කළා.
එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව සිදුවූ බව කියන ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක මුදල් අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම විමර්ශනය සිදු වෙමින් පවතිනවා.
නාමල් රාජපක්ෂ මහතා මීට පෙර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශනයකට අදාළවද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
