NextWatch

ඉෂාරා සෙව්වන්දි ගැන විමර්ශන වාර්තාවක්

ඉෂාරා සෙව්වන්දි සම්බන්ධ විමර්ශන වාර්තාවක් කොළඹ අපරාධ කොට්ඨාශය ඊයේ (22) කොළඹ මහෙස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා වෙත ඉදිරිපත් කෙරිණි.

එහිදි විමර්ශන නිළධාරින් පැවසුවේ මේ වන විට සැකකාරිය දින 90ක් රඳවා ප්‍රශ්න කිරිම ආරම්භ කර ඇති අතර ඇය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කඩිනමින් අධිකරණය වෙත වාර්තා කරන බවයි.

සැකකාරිය නිරික්ෂණ කරන්නේ කොටුව මහේස්ත්‍රාත්වරයා වන බැවින් විමර්ශන වාර්තා සියල්ල එම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නිලධාරින්ට නියෝග කළේ ය.

සැකකාරියට අධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කල තවත් දෙදෙනෙකු දින 90ක් රඳවා ප්‍රශ්න කිරිමට අවසරය ලබාගෙන ඇති බවත් ඔවුන් සම්බන්ධ විමර්ශනවලට අදාලව නියෝග කිහිපයක් ලබා ගැනිමට අවශ්‍ය බව විමර්ශන නිලධාරින් අධිකරණයට දැන්විය.

එහිදි ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පැවසුයේ එම පුද්ගලයින් සැකකරුවන් ලෙස නම් කර ඇත්දැයි දන්වන ලෙසයි.

ගණේමුල්ල සංජිව ඝාතනය සම්බන්ධයෙන් මේවන තෙක් ඔවුන් සැකකරුවන් ලෙස නම්කර නොමැති බවත් ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් හා අපරාධ සිදුකිරිම පිණිස සැකකාර ඉෂාරා සෙව්වන්දිට ආධාර අනුබල දිම සම්බන්ධයෙන් සැකපිට රඳවා ප්‍රශ්න කරනබවත් නිලධාරින් ප්‍රකාශ කළේය.

කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා පැවසුවේ රඳවා ප්‍රශ්න කරන පුද්ගලයින් පැමිණිල්ලක සැකකරුවන් ලෙස නම් කර නොමැති නම් ඒ සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරිමට අධිකරණයට නොහැකි බවයි.

එබැවින් ඔවුන් සම්බන්ධව වෙනම බී වාර්තාවකින් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙස නියෝල කෙරුණි.

Exit mobile version