ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ 30% ක බද්ද අඩු කර ගැනීමට හැකි වූයේ තමන් දන්නා දරුවෙක්ගේ මැදිහත්වීමකින් බවත් ඒ පිළිබඳව එම දරුවා තමන්ගෙන්ද විමසා සිටි බවත් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසනවා.
අද (13) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ සඳහන් කළේ, එලෙස 30% ක බද්ද අඩු කරවා ගැනීමට මැදිහත් වූයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ලාංකික සිසුවෙකු බවයි.
ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ දරුවෙකු හෝ මුණුපුරෙකු සමඟ එම සිසුවා ඉගෙනුම ලබන බවත්, එම සබඳතාව හරහා ඇමරිකානු ජනාධිපතිවරයා සම්බන්ධ කරගත හැකි බවත් උන්වහන්සේ එහිදී පැවසුවා.
“මේ සියට 30 ආවේ ඔය එංගලන්තයේ ඉන්න ළමයා හරහා වටේ ගිහින් කතා කරලා තමයි ඕක ගත්තේ. අපි ඒක කිව්වේ නැහැ, දැන් කියනවා”
උන්වහන්සේ සඳහන් කළේ, අවශ්‍ය නම් මෙරට සිස්ටම් චේන්ජ් එක වෙනුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට පවා සහය විය හැකි බවයි.
එමෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පැවති දැඩි විරෝධය හමුවේ රජය එම කටයුතු ලබන වසර දක්වා කල් දැමීම පිළිබඳව අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට සිය ස්තූතිය පිරිනමන බව ධම්මරතන හිමියන් සඳහන් කළා.
අධ්‍යාපන විෂය භාර අමාත්‍යවරිය සම්බන්ධයෙන් සියලු පාර්ශවයන්ගෙන් විවේචන එල්ල වන බව පෙන්වා දුන් මිහින්තලේ හිමියන්, වහාම කැබිනට් සංශෝධනයක් සිදු කර සුදුසු පුද්ගලයෙකු එම තනතුරට පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා.
එසේ නොවුවහොත් අපේක්ෂිත “සිස්ටම් චේන්ජ්” එක කරා යාමට නොහැකි වනු ඇති බව උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළා.
