මැලේසියාවේදී එරට ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත්ව මෙරටට පිටුවහල් කෙරුණු බෝඹුවල දේවගේ සුරංග සංජීව කරුණාරත්න නොහොත් මාටියා නමැත්තා කටුනායක ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (25) රාත්‍රී කාලයේදී ඔහු දිවයිනට පැමිණි අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව පොලීසිය සඳහන් කළා.
පොලීසිය පවසන්නේ මෙලෙස අත්අඩංගුවට පත් වූ මාටියා නමැත්තා දැනට රැඳවුම් භාරයේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ යන අයගේ කණ්ඩායමට අනුයුක්තව ප්‍රධාන වෙඩික්කරු ලෙස කටයුතු කර ඇති අයෙක් බවයි.
ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනීමෙන් පසුව සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.
ඉන් අනතුරුව ඉදිරි විමර්ශන කටයුතු සඳහා ඔහුව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වෙත භාර දෙන බව පොලිසිය සඳහන් කළා.
පොලීසිය වැඩිදුරටත් පවසන්නේ මෙම සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදු කිරීම සඳහා පැය 72 ක රැඳවුම් නියෝග ලබාගෙන ඉදිරි විමර්ශන කටයුතු මෙහෙයවීමට නියමිත බවයි.
