වසර 20කට අධික කාලයක් නොගෙවා පැහැර හැර තිබූ රාජ්‍ය වතු සමාගම්වල සේවකයින්ගේ සහ විශ්‍රාමිකයන්ගේ හිඟ පාරිතෝෂික, EPF සහ ETF මුදල් රුපියල් බිලියන 4.5ක (මිලියන 4,500) මුදලක් ගෙවීමට පියවර ගෙන තිබේ. වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සඳහන් කරන්නේ අදාළ මුදල් ගෙවීමේ සමාරම්භක අවස්ථාව හෙට (10) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන බවයි. රාජ්‍ය වතු සමාගම් තුනක වත්මන් සහ හිටපු සේවකයින් 10,000කට වැඩි පිරිසකට මෙමගින් ප්‍රතිලාභ හිමිවීමට නියමිතයි.යි
මේ යටතේ ශ්‍රී ලංකා රාජ්‍ය වතු නීතිගත සංස්ථාවේ (SLSPC) සේවකයින් 3,000කට වැඩි පිරිසකට රුපියල් මිලියන 1,961කට අධික මුදලක්ද, ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ (JEDB) සේවකයින් 6,123 දෙනෙකුට රුපියල් මිලියන 2,024කට අධික මුදලක්ද, ඇල්කඩුව ප්ලාන්ටේෂන් සමාගමේ සේවකයින් 1,000කට ආසන්න පිරිසකට රුපියල් මිලියන 503කට අධික මුදලක්ද වශයෙන් මුදල් බෙදී යනු ඇත.
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය හිමිවීමත් සමඟ මෙම පියවර ගෙන ඇත. වතු ජනතාවගේ ආර්ථික සහ සාමාජික සුරක්ෂිතභාවය තහවුරු කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව රජය වැඩිදුරටත් සඳහන් කරයි.
