පාසල් පොත්පත් සඳහා පනවා ඇති එකතු කළ අගය මත බද්ද (VAT) ඉවත් කිරීමට රජය පියවර ගන්නා බවත්, ඊට අදාළ වැඩිදුර තොරතුරු ඉදිරි අයවැය මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
නොච්චියාගම ප්‍රදේශයේ පැවැති ජන හමුවකට ඊයේ (13) එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ සාමාන්‍ය ජනතාව මත පැටවී ඇති පීඩනය ලිහිල් කිරීමේ රජයේ වැඩපිළිවෙළේ තවත් එක් පියවරක් ලෙස මෙම බද්ද ඉවත් කිරීමට අදාළ සැලසුම් මේ වන විටත් සකස් කරමින් පවතින බවයි.
මේ සමඟ ගුරුවරුන් 23,000 ක් පමණ ඇතුළුව තවත් 121,000 ක පිරිසක් රාජ්‍ය සේවයට අනුයුක්ත කරගැනීමට සැලසුම් කර ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී ජන හමුව අමතමින් අනාවරණය කළා.
රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම තුළින් රටේ අනාගතය වෙනුවෙන් වැඩි ආයෝජනයක් කිරීමට රජයට හැකියාව ලැබෙන බවද ඔහු පෙන්වා දුන්නා.
මේ අතර, කහටගස්දිගිලිය ප්‍රදේශයේ පැවැති තවත් ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතියේ මූලික වෙනසක් සිදුවිය යුතු බවයි.
