ශ්‍රී ලංකාවේ සිදුවන මාර්ග අනතුරුවලින් සියයට 30කට ආසන්න ප්‍රමාණයකට සුනඛයන් සම්බන්ධ බවත්, සුනඛ සපාකෑම් සඳහා ලබාදෙන ජලභීතිකා එන්නත් වෙනුවෙන් රජයට වාර්ෂිකව රුපියල් බිලියනයකට ආසන්න මුදලක් වැය වන බවත් සත්වයන් මනෝවිද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ අල්ලා ගැනීම සම්බන්ධ පශු වෛද්‍ය සංගමයේ නිර්මාතෘ වෛද්‍ය චමිත් නානායක්කාර මහතා පවසනවා.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ වීදි සුනඛ ගැටලුවට ප්‍රධාන හේතුව මිනිසුන්ගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය සහ නිසි ලෙස කළමනාකරණය නොකරන කසළ බවයි.
යෝජිත නව නීතිය යටතේ හිමිකරුවෙකු සිටින සෑම සුනඛයෙකුම අදාළ පළාත් පාලන ආයතනයේ ලියාපදිංචි කිරීම අනිවාර්ය කිරීමටත්, හිමිකරුවන් නොමැති වීදි සුනඛයන්ගේ වගකීම පළාත් පාලන ආයතන වෙත පැවරීමටත් යෝජනා කර ඇති බව ඔහු පැවසීය.
“එක් පැත්තකින්, බල්ලෙක් සපා කෑ විට එන්නත් කිරීම සඳහා රට වසරකට ආසන්නව රුපියල් බිලියනයක් පමණ වියදම් කරනවා. අනෙක් පැත්තෙන්, මාර්ග අනතුරුවලින් 30%ක් සිදු වෙනවා. මෙයින් ආර්ථිකයට කොතරම් බලපෑමක් වෙනවාද? මේ සතුන් පාරේ ඉන්නේ උන්ගේ කැමැත්තෙන් නෙවෙයි. ඒකට හේතුව මිනිසුන්ගේ නොසැලකිලිමත් ක්‍රියා සහ සමාජීය වගකීමක් නැතිකමයි. නීතියේ පැහැදිලිවම තියෙනවා මේ සතුන්ගේ වගකීම ප්‍රාදේශීය සභාව විසින් භාරගත යුතු බව. එවිට එන්නත් කිරීම සහ වන්ධ්‍යාකරණය සඳහා රජය වගකීම ගන්නා බැවින් පාරේ සිටින කිසිම බල්ලෙක් අසරණ වන්නේ නැහැ. එය ඉතා හොඳ සංකල්පයක්.”, යනුවෙන් වෛද්‍ය නානායක්කාර මහතා සඳහන් කලේය.
එමෙන්ම වීදි සුනඛයන්ගේ එන්නත්කරණය සහ වන්ධ්‍යාකරණය රජයේ වගකීම යටතට ගැනීම මගින් සත්ව සුබසාධනය සහ මහජන ආරක්ෂාව යන දෙකම ආරක්ෂා කළ හැකි බවද ඔහු පෙන්වාදෙමින් තවදුරටත් විස්තර කලේය.
