2019 වසරේ සිදුවූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් චෝදනා 23,270කට අධික සංඛ්‍යාවක් යටතේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුවේ අවසන් තීන්දුව නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත් කරන ලදී.
දීර්ඝ සාක්ෂි විමසීමකින් අනතුරුව, පැමිණිල්ල විසින් එල්ල කර තිබූ අධිචෝදනා සාධාරණ සැකයෙන් ඔප්පු කිරීමට සමත් වීම හේතුවෙන් විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් ලෙස නීතිය හමුවේ තීන්දු විය. ඒ අනුව, විත්තිකරුවන් 5 දෙනෙකුට වසර 200 බැගින් ද, නවුෆර් මවුලවි ඇතුළු තවත් 5 දෙනෙකුට වසර 220 බැගින් ද, ගෆූර් මාමා ඇතුළු 4 දෙනෙකුට වසර 240 බැගින් ද, අටවන විත්තිකරුට වසර 260ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම විය. මීට අමතරව මෙම වරදකරුවන්ගේ සියලු නිශ්චල සහ චංචල දේපළ රාජසන්තක කිරීමට ද අධිකරණය නියෝග කළේය. කෙසේවෙතත්, චෝදනා සාධාරණ සැකයෙන් ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වීම නිසා විත්තිකරුවන් 9 දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරු මඩුල්ල ඒකමතිකව තීරණය කළේය.
දඬුවම් නියම කිරීමට පෙර අධිකරණය හමුවේ අදහස් දැක්වූ වරදකරුවන් වූ ඇතැම් විත්තිකරුවන් ප්‍රකාශ කළේ තමන් මෙම ප්‍රහාරයට සෘජුව සම්බන්ධ නැති බවත්, සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ පසුවන බවත්ය. කෙසේවෙතත්, අන්තවාදී දේශන පැවැත්වීම, අවි පුහුණුව ලබාදීම සහ ආරක්ෂිත ස්ථාන පවත්වාගෙන යමින් කුමන්ත්‍රණයට අනුබල දීම යන කරුණු මත පදනම්ව ඔවුන් වැරදිකරුවන් බවට පත්වූ අතර, දඬුවම් නියම වීමෙන් අනතුරුව ඔවුන් වැලිකඩ බන්ධනාගාරය වෙත යොමු කෙරිණි.
මෙම ප්‍රහාරයේ වගකීම භාරගත් ISIS ත්‍රස්ත සංවිධානය, මනෝරාජික ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීමේ අරමුණින් ලොව පුරා තරුණයින් රැඩිකලීකරණය කරමින් ත්‍රස්ත ක්‍රියාකාරකම්හි නිරත වන බව ද මෙම නඩු තීන්දුවත් සමඟ නැවත මතක් කරදී තිබේ.
