පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස කැඳවීම් ලබා සිටියදී වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදෙස්ගත වූ හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය යළි දිවයිනට පැමිණ තිබේ. වාර්තා වන ආකාරයට ඇය මැලේසියාවේ සිට පැමිණි MH 179 දරණ ගුවන් යානයෙන් මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා විදේශගත වූ තමන් යළි දිවයිනට පැමිණෙන අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීම වළකාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශිරන්ති රාජපක්ෂ මහත්මිය මීට පෙර අපේක්‍ෂිත ඇප අයැදුම් පත්‍රයක් ගොනු කර තිබුණි. අත්අඩංගුවට ගැනීමකින් තොරව ආරක්‍ෂිතව ශ්‍රී ලංකාවට පැමිණීමට හැකි වන පරිදි ගොනු කළ එම අපේක්‍ෂිත ඇප අයැදුම් පත්‍රය සලකා බැලීමෙන් අනතුරුව, එය අද (06) දිනයේදී කැඳවීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජනිතා පෙරේරා මහත්මිය නියෝග කර ඇත.
සිරිලිය සවිය ගිණුමක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පවත්වාගෙන යන විමර්ශනයකට අදාළව, ප්‍රකාශයක් ලබා දීම සඳහා පෙනී සිටින ලෙස ඇයට මීට පෙර දැනුම් දී තිබුණි. එලෙස දැනුම් දී තිබියදී පසුගිය මස 18 වනදා ඇය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් සිංගප්පූරුව බලා පිටත්ව ගියාය. ගුවන් තොටුපළින් පිටත්ව යාමට සූදානම් වන අවස්ථාවේදී ද රහස් පොලිස් නිලධාරීන් විසින් ඇයට අදාළ දැනුම්දීම සිදු කර තිබූ බව සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම්, නීතීඥ මනෝජ් ගමගේ මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණේ ශිරන්ති රාජපක්ෂ මහත්මිය එලෙස විදෙස්ගත වූයේ ඇසේ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා බවයි. ප්‍රතිකාර අවසන් වී යළි දිවයිනට පැමිණි විගස පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පෙනී සිට අදාළ ප්‍රකාශය ලබාදීමට ඇය සූදානම් බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබුණි.
