හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ‘සිරිලිය සවිය’ සංවිධානයේ මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ අල්ලස් කොමිසම ඒකාබද්ධව විමර්ශන සිදුකරන අතර, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල සඳහා ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගැනීමට බව පවසමින් ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් ‘සිරිලිය සවිය’ වෙත ලබාගෙන ඇති රුපියල් මිලියන 10ක මුදලක් සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකෙරෙනවා.
අදාළ මුදල නියමිත අරමුණ සඳහා යොදා නොගැනීම සම්බන්ධයෙන් ‘දූෂණය’ නමැති වරදක් සිදුවී තිබේදැයි අල්ලස් කොමිසම විමර්ශනය කරන අතර, FCIDය පොදු දේපළ අවභාවිතය ඇතුළු වෙනත් අපරාධ නීති ප්‍රතිපාදන යටතේ විමර්ශන සිදුකරන බව සඳහන්.
මෙම විමර්ශනයට අදාළව FCID හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙස දැනුම් දී තිබියදී ශිරන්ති රාජපක්ෂ මහත්මිය පසුගිය සැප්තැම්බර් 18 වැනිදා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණා. ඇය ප්‍රතිකාර ලබාගැනීම සඳහා විදේශගත වූ බව ඇගේ පාර්ශ්වය සඳහන් කර තිබුණා.
මේ අතර, යළි දිවයිනට පැමිණීමේදී අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් ඉල්ලා ඇය විසින් අපේක්ෂිත ඇප අයැදුම්පතක් ඉදිරිපත් කර තිබූ අතර, එය ඊයේ (06) මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවා තිබුණා. එහිදී ඔක්තෝබර් 12 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු වාර්තා කරන ලෙස FCID ස්ථානාධිපතිවරයාට නොතීසි නිකුත් කිරීමට අධිකරණය නියෝග කළා.
