ක්‍රිකට් ක්‍රීඩකයන් සංවර්ධනය කිරීම සඳහා බිම් මට්ටමේ සිට විධිමත් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බැවින්, එහි සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට යම් කාලයක් ඉවසීමෙන් බලා සිටිය යුතු බව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ප්‍රකාශ කරයි.
මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින ගැටලු නිරාකරණය කරමින් ජයග්‍රාහී කණ්ඩායමක් නිර්මාණය කිරීම සඳහා ක්‍රිකට් පරිවර්තන කමිටුවක් පත් කිරීම, පාර්ලිමේන්තුවට නව පනතක් ඉදිරිපත් කිරීම සහ ක්‍රිකට් පරිපාලන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ වෙනස්කම් රැසක් සිදු කරමින් පවතින බව අමාත්‍යවරයා සඳහන් කළේය.
පසුගිය දශකයකට ආසන්න කාලය තිස්සේ ක්‍රීඩකයන් නිර්මාණය කිරීමේ ක්‍රියාවලියේ පැවති දුර්වලතා හේතුවෙන් වත්මන් පසුබෑම උද්ගත වී ඇති බව පෙන්වා දුන් ඔහු, නව රජයක් බලයට පත්වී මාසයක් දෙකක් ඇතුළත ක්ෂණිකව ක්‍රීඩකයන් බිහි කිරීමේ හැකියාවක් නොමැති බවද අවධාරණය කළේය.
මීට අමතරව, මෙරට මලල ක්‍රීඩා සංවර්ධනය සඳහා ප්‍රමාණවත් දායකත්වයක් නොලැබීම හේතුවෙන් මලල ක්‍රීඩා සංගමය සම්බන්ධයෙන්ද ඉදිරියේදී තීරණයක් ගැනීමට සිදුවන බව පැවසූ අමාත්‍යවරයා, පවතින ගැටලු හමුවේ ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයන් තිදෙනෙකුද මේ වන විටත් ඉල්ලා අස්වී ඇති බව වැඩිදුරටත් කියා සිටියේය.
