හිටපු ආර්ථික සංවර්ධන අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා අද (14) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට නියෝග කර තිබේ.
එමෙන්ම, බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ජාත්යන්තර පොලිසිය හරහා රතු නිවේදනයක් ලබාගැනීමට අවශ්ය ක්රියාමාර්ග ගන්නා ලෙස ද මහේස්ත්රාත්වරයා නියෝග කර ඇත.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝග නිකුත් කර තිබේ.
2014 වසරේදී ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශයට යොමු කර තිබූ රුපියල් මිලියන 7.8ක මුදලක් එම කාර්යාංශයේ ප්රවර්ධන කටයුතු සඳහා වැය නොකර, ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් ටී ෂර්ට් 12,000ක් ලබාදීමට යොදාගැනීමෙන් රජයට පාඩුවක් සිදුකළ බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය විසින් මෙම සිද්ධිය අධිකරණයට වාර්තා කර තිබිණි.
