හිටපු නියෝජ්ය අමාත්ය සරණ ගුණවර්ධන මහතාට අත්හිටවූ සිරදඬුවමක් ලබාගැනීම සඳහා අල්ලස් ලබාදීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ඔහුගේ බිරිඳ ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු ලබන 30 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය අද නියෝග කළේය.
කෙසේ වෙතත්, මෙම සිද්ධියට අදාළ තුන්වන සැකකරු වන මිනුවන්ගොඩ මහේස්ත්රාත් අධිකරණයේ රෙජිස්ට්රාර්වරයා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කර තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කර ඇත.
කොළඹ මහාධිකරණයේ විභාග වන නඩුවකදී සිය සැමියාට අත්හිටවූ සිරදඬුවමක් ලබාගැනීමේ අරමුණින් එම අධිකරණයේ කාර්යාල කාර්ය සහායකයෙකුට රුපියල් 50,000ක අල්ලසක් ලබාදුන් බවට චෝදනා කරමින් සරණ ගුණවර්ධන මහතාගේ බිරිඳ වන චිනාරි ලක්මාලි හෙට්ටිආරච්චි මහත්මිය පසුගිය සැප්තැම්බර් 25 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය. පසුව ඊට සම්බන්ධ කාර්යාල කාර්ය සහායකයා සහ ආධාර අනුබල දුන් මිනුවන්ගොඩ මහේස්ත්රාත් අධිකරණයේ රෙජිස්ට්රාර්වරයා ද අත්අඩංගුවට ගන්නා ලදී.
සැකකාර කාර්යාල කාර්ය සහායකයාගේ ජංගම දුරකථනයේ තිබූ වට්ස්ඇප් පණිවිඩ සහ මුදල් හුවමාරුවට අදාළ ලේඛන පරීක්ෂා කිරීමේදී අල්ලස් ගනුදෙනුවට අදාළ තොරතුරු හමුවූ බව අල්ලස් කොමිසම අධිකරණය හමුවේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
