අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ, පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාගේ ලේකම්වරයෙකු වන සංජය සමරසිංහ මහතා ඇප මත මුදාහැරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඒ අනුව, සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා, ඔහුගේ විදේශ ගමන් තහනම් කරමින් ආගමන විගමන පාලකවරයා වෙත ද නියෝගයක් නිකුත් කළේය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ දැක්වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්රාත්වරයා මෙම නියෝගය ප්රකාශයට පත් කරන ලදී.
පසුගිය 16 වනදා රාත්රියේ අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් විසින් ගල්කිස්ස, ටෙම්ප්ලර්ස් පාරේ පිහිටි සංජය සමරසිංහ මහතාගේ නිවස විශේෂ සෝදිසියකට ලක්කර තිබිණි. එම මෙහෙයුමේදී නිවසේ තිබී හමුවූ ආරක්ෂිත සේප්පුවක් නිලධාරීන් භාරයට ගෙන තිබූ අතර, එහි තිබී රුපියල් ලක්ෂ 18ක මුදලක් සොයාගෙන තිබේ.
අදාළ මුදල උපයාගත් ආකාරය හෝ එහි නීත්යානුකූල මූලාශ්රය තහවුරු කිරීමට සැකකරු අපොහොසත් වීම හේතුවෙන් ඊයේ දිනයේදී අල්ලස් කොමිසම විසින් ඔහුව අත්අඩංගුවට ගෙන මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
