රජය විසින් නියම කර ඇති උපරිම සිල්ලර මිලට වඩා රුපියල් 5ක වැඩි මුදලකට ආනයනික කීරි සම්බා සහල් අලෙවි කළ වැලිමඩ ප්රදේශයේ සුපිරි වෙළෙඳසැලකට රුපියල් ලක්ෂ පහක දඩ මුදලක් නියම කර තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බදුල්ල දිස්ත්රික් විමර්ශන නිලධාරීන් විසින් පවරන ලද නඩුවකට අදාළව අධිකරණය මගින් මෙලෙස දඩ නියම කර ඇත්තේ වැලිමඩ, නුවරඑළිය පාරේ පිහිටි බදුරියා සුපර් (ප්රයිවට්) ලිමිටඩ් ආයතනය වෙතයි.
2025 දෙසැම්බර් 04 වන දින අදාළ නිලධාරීන් කණ්ඩායම විසින් සිදුකළ වැටලීමකදී මෙම නීති උල්ලංඝනය අනාවරණය කරගෙන ඇත. එහිදී ආනයනික කීරි සම්බා සහල් කිලෝග්රෑමයක නියමිත පාලන මිල රුපියල් 255ක්ව පැවැති අතර, විමර්ශන නිලධාරියෙකුට එම සහල් කිලෝග්රෑමයක් රුපියල් 260ක මුදලකට අලෙවි කිරීමට වෙළෙඳසැල කටයුතු කර තිබේ.
ඒ අනුව නියමිත පාලන මිලට වඩා රුපියල් 5ක් වැඩිපුර අය කරමින් පාරිභෝගික පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අදාළ දඩ මුදල නියම විය.
අත්යවශ්ය භාණ්ඩ සඳහා නියම කර ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා අලෙවි කිරීම ඇතුළු පාරිභෝගික අයිතිවාසිකම් උල්ලංඝනය වන ඕනෑම අවස්ථාවක ඒ පිළිබඳ තොරතුරු 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ කාර්යාල වේලාවන් තුළ දැනුම් දෙන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
