නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත දේශපාලන අධිකාරියෙන් කිසිදු බලපෑමක් සිදු නොවන බැවින් වර්තමානයේ සැමට එක ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව ලැබී ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ප්‍රකාශ කරයි. බියගම පොලිස් ස්ථානයේ නිල නිවාස සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
දූෂණ, වංචා සහ අක්‍රමිකතාවලට සම්බන්ධ වූ හිටපු කැබිනට් අමාත්‍යවරුන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මෙන්ම කාර්ය මණ්ඩල නිලධාරීන් කිසිදු තරාතිරමකින් තොරව අත්අඩංගුවට ගනිමින් පවතින බව ඔහු සඳහන් කළේය. වත්මන් රජය යටතේ විමර්ශන ආයතන වෙත දේශපාලන අතපෙවීම් සිදු නොකිරීම නිසා මෙලෙස නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක වන යහපත් වටපිටාවක් නිර්මාණය වී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම, පරාජයට පත්ව සිටින ඇතැම් දේශපාලනඥයන් නැවත වරක් ජාතිවාදය සහ ආගම්වාදය ඉස්මතු කරමින්, පදනම් විරහිත චෝදනා ඉදිරිපත් කරමින් බලයට පැමිණීමට උත්සාහ දරන බවද සුනිල් වටගල මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.


