මන්ත්රී හර්ෂණ රාජකරුණාගේ ඥාති සොහොයුරෙකු බව කියන චරිත් කනිෂ්ක රාජකරුණා, කිරිඳිවැල පැරණි සිනමාහලක සඟවා තිබූ ගිනිඅවි සහ පතොරොම් තොගයක් සමඟ පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
පසුගිය 17 වැනිදා කිරිඳිවැල – හංවැල්ල මාර්ගයේ පිහිටි අදාළ සිනමා ශාලාව කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් පරීක්ෂා කළ අවස්ථාවේදී මෙම නීතිවිරෝධී ආයුධ තොගය සොයාගෙන ඇත. එහි තිබී විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝල 02ක්, රිවෝල්වරයක්, බෝර 12 රිපීටර් ගිනි අවියක් සහ බෝර 12 වර්ගයේ තවත් ගිනි අවියක් මෙන්ම ජීව අත්බෝම්බ 02ක් පොලිස් භාරයට ගෙන තිබේ. ඊට අමතරව, විවිධ වර්ගයේ ගිනිඅවි සඳහා යොදාගන්නා ජීව උණ්ඩ 3,800කට අධික ප්රමාණයක් ද (බෝර 12 උණ්ඩ 398ක්, බෝර 16 උණ්ඩ 35ක්, මි.මී. 9 උණ්ඩ 278. 32 උණ්ඩ 49ක් සහ පොයින්ට් 22 උණ්ඩ 3,083ක්) එහි සඟවා තිබී ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද ඊයේ (18) බදුල්ලේ පැවති කාන්තා සමුළුවක් අමතමින් විශේෂ අදහස් දැක්වීමක් සිදු කළේය. අත්අඩංගුවට ගත් සැකකරු පුද්ගලයන්ට වෙඩි තබන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන පවතින බවත්, ඔහු ප්රදේශයේ ප්රකට පුද්ගලයෙකුගේ ඥාතියෙකු බවට තොරතුරු ලැබී ඇති බවත් ජනාධිපතිවරයා එහිදී ප්රකාශ කළේය. එසේම, මෙම වසර තුළදී පමණක් ටී-56 ගිනිඅවි 93ක්, පිස්තෝල 141ක් සහ රිවෝල්වර 105ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර, අත්අඩංගුවට පත් සැකකරු විසින් මීට පෙර අවස්ථාවකදී ගිනි අවියක් පෙන්වා යාචකයෙකු බිය ගන්වන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් ද මේ වනවිට සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බව වාර්තා වේ.


