බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩිට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අත්සන් කරන ලද විශ්වාසභංග යෝජනාව අද (19) කතානායකවරයා වෙත භාර දීමට නියමිත බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක ප්‍රකාශ කරයි.
මෙම විශ්වාසභංග යෝජනාව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මෙන්ම විපක්ෂය නියෝජනය කරන තවත් මන්ත්‍රීවරුන් පිරිසක් දැනටමත් අත්සන් තබා තිබේ.
සජිත් ප්‍රේමදාසලාගේ විපක්ෂය විසින් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීම සඳහා ප්‍රධාන කරුණු කිහිපයක් පදනම් කරගෙන තිබේ. එහිදී ඔවුන් විශේෂයෙන්ම අවධාරණය කරන්නේ නොරොච්චෝල ලක්විජය බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු නියමිත ප්‍රමිතියෙන් සහ ප්‍රමාණයෙන් ලබා ගැනීමට අමාත්‍යවරයා අපොහොසත් වීම හේතුවෙන් ජාතික බලශක්ති පද්ධතිය දැඩි අවදානමකට ලක්ව ඇති බවයි.
එසේම මීට අමතරව, අමාත්‍යවරයා මීට පෙර ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රසම්පාදන කළමනාකරු ලෙස කටයුතු කළ සමයේ සිදු වූ බව කියන දූෂණ ක්‍රියාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබීම ද මෙම විශ්වාසභංගයට පාදක වූ තවත් ප්‍රබල හේතුවක් ලෙස විපක්ෂය පෙන්වා දෙයි.


