ලෝක ඉතිහාසයේ වාර්තා වී ඇති දරුණුතම දේශගුණික අසමතුලිතතාවයට පෘථිවිය මුහුණ දී සිටින බව එක්සත් ජාතීන්ගේ ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) අනතුරු අඟවයි.
කාබන් ඩයොක්සයිඩ් වැනි හරිතාගාර වායු විමෝචනය හේතුවෙන් පෘථිවිය මුදාහරින තාපයට වඩා වැඩි තාප ප්‍රමාණයක් උරාගැනීම මෙයට ප්‍රධාන හේතුව බව සඳහන්.
මෙම “ශක්ති අසමතුලිතතාවය” (Energy Imbalance) හේතුවෙන් පසුගිය වසරේ සාගර උණුසුම වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති අතර පෘථිවියේ අයිස් තට්ටු වේගයෙන් දියවෙමින් පවතී.
මේ වසරේ අගභාගයේදී ආරම්භ වීමට නියමිත “එල් නිනෝ” (El Niño) ස්වභාවික උණුසුම් අවධියත් සමඟ ඉදිරියේදී උණුසුම තවත් දරුණු ලෙස ඉහළ යා හැකි බවටයි විද්‍යාඥයෝ මත පල කරන්නේ.
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසන්නේ පෘථිවිය සිය සීමාවන් ඉක්මවා ගොස් ඇති බවයි.
1850 වසරේ සිට වාර්තා වූ උණුසුම්ම වසර 11 ම පසුගිය වසර 11 තුළ වාර්තා වී ඇති අතර, 2025 වසරේ ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය පූර්ව කාර්මික යුගයට වඩා සෙල්සියස් අංශක 1.43 කින් ඉහළ ගොස් තිබෙන බව සඳහන්.


