සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලමින් තීනියාවල පාලිත හිමියන් අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ගොනු කර ඇත. අදාළ පෙත්සම මගින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා, එම අමාත්‍යාංශයේ ලේකම්වරිය සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාව මගින් බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කිරීමේ වගකීම රජයට පැවරී ඇති බව පෙන්වා දෙන පෙත්සම්කාර හිමියන්, අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වූ ඥානසාර හිමියන් කොළඹ මහාධිකරණයට සහ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ චීවරය ඉවත් කර ගිහි ඇඳුමින් ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බව පෙන්වා දෙයි.
බන්ධනාගාර නිලධාරීන්ගේ මෙම තීරණය බෞද්ධ විනය නීතිවලට මෙන්ම බන්ධනාගාර රෙගුලාසිවලට ද පටහැනි බව සඳහන් කරන තීනියාවල පාලිත හිමියන්, එකී තීරණය සහ ඊට බලකෙරෙන යම් රෙගුලාසියක් හෝ චක්‍රලේඛයක් වේ නම් ඒවාද බලරහිත කිරීමේ නියෝග නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටී. මීට අමතරව, පෙත්සම් විභාගය නිමවන තෙක් උන්වහන්සේගේ චීවරය ඉවත් කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් ද පෙත්සම මගින් අපේක්ෂා කෙරේ.


