යෝජිත නව සංවිධානාත්මක අපරාධ පනත පාතාලය මර්දනය කිරීමට නොව සාමාන්‍ය ජනතාවට එරෙහි භීෂණයක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජාගොඩ පවසයි. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ මෙම පනත තුළ ඉතා පුළුල් හා අනිසි ලෙස නිර්වචන යොදාගෙන ඇති අතර, ඕනෑම ආණ්ඩුවකට තමන්ට රිසි සේ මෙම නීතිය අවභාවිත කිරීමට ඉඩ සැලසෙන බවයි.
මෙම පනතේ 03 වන වගන්තියට අනුව පුද්ගලයන් තිදෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් එක්වූ ව්‍යුහයක් “සංවිධානාත්මක අපරාධ කල්ලියක්” ලෙස අර්ථ දක්වා ඇති බව හෙතෙම සඳහන් කළේය. එසේම, දැනටමත් රටේ පවතින සාමාන්‍ය නීති පද්ධතිය යටතේ ආවරණය වන පොලිස් රාජකාරියට බාධා කිරීම, සොරකම් කිරීම, බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝනය කිරීම, බලපත්‍ර රහිතව සූදු ක්‍රීඩා කිරීම, වනජීවී පනතේ වැරදි මෙන්ම දණ්ඩ නීති සංග්‍රහයේ ඇතැම් වැරදි ද මෙම පනතේ බරපතල වැරදි ලැයිස්තුවට ඇතුළත් කර ඇත.
විශේෂයෙන්ම, අයෙකු විවාහ වී සිටියදී විධිමත් දික්කසාදයකින් තොරව වෙනත් අයෙකු සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන යාම පවා මෙම නව පනතට අනුව පාතාල වැරැද්දක් ලෙස සැලකිය හැකි මට්ටමට නීතිය සකසා ඇති බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.


