නඩු තීන්දුවක පිටපතක් ලබා දීම සඳහා රුපියල් 500ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාවක් මත, කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණයේ සේවයේ නියුතු කාර්යාල කාර්ය සහයකයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ වංචා විමර්ශන කාර්යංශයට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ මූලික විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණයේ විභාග වූ මුදල් ආරවුලකට අදාළ නඩුවක් මෑතකදී සමථයකට පත්වී ඇති අතර, ඉන් අනතුරුව අදාළ නඩු තීන්දුවේ පිටපතක් ලබා දීම වෙනුවෙන් සැකකාර අධිකරණ සේවකයා විසින් ඉකුත් ජුනි මස 30 වන දින අදාළ පාර්ශ්වයෙන් මෙම අල්ලස් මුදල ඉල්ලා තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
පසුව ඒ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු මත වහාම ක්රියාත්මක වූ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (16) පස්වරු 3.35 ට පමණ සැකකරුව කොටුව මහෙස්ත්රාත් අධිකරණ පරිශ්රය තුළදීම අත්අඩංගුවට ගැනීමට සමත් විය.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ක්රියාත්මක කරනු ලබයි.


