අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට අයත් උසස් අධ්‍යාපන අනුකාරක සභාව රැස්වූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය. උසස් අධ්‍යාපන පද්ධතිය තුළ පවතින පුරප්පාඩු නිසි ලෙස පිරවීම සහ නවක වද අර්බුදයට තිරසාර විසඳුම් සෙවීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි.
විශ්වවිද්‍යාල තුළ නවක වදය වැළැක්වීම සඳහා එම ආයතනික බලධාරීන් සතුව සදාචාරාත්මක වගකීමක් පවතින බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, වින්දිතයන් බවට පත්වන සිසුන්ට යුක්තිය ඉටුවන බවට තහවුරු කෙරෙන විශ්වාසනීය විමර්ශන යාන්ත්‍රණයක් පැවතිය යුතු බව අවධාරණය කළාය. ඒ අනුව, මෙම පරීක්ෂණ කටයුතු වඩාත් ඵලදායී හා කාර්යක්ෂම අයුරින් සිදුකරමින් පීඩාවට පත් විද්‍යාර්ථීන්ට කඩිනම් සහනයක් සැලසීමේ අවශ්‍යතාවද ඇය මෙහිදී පෙන්වා දුන්නාය.
මේ අතර, විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ අනුමත කර ඇති පුරප්පාඩු සඳහා මෙතෙක් පත්වීම් ලබා නොදීම සම්බන්ධයෙන් උපකුලපතිවරුන්ගෙන් කරුණු විමසා සිටි අග්‍රාමාත්‍යවරිය, එම පුරප්පාඩු සඳහා සුදුස්සන් අනුයුක්ත කිරීමේ ක්‍රියාවලිය ප්‍රමුඛතාව ලබා දී වහාම ක්‍රියාත්මක කරන ලෙස නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දුන්නාය.


