රාවය පබ්ලිෂර්ස් (ගැරන්ටි) සමාගමේ හිටපු සභාපති වික්ටර් අයිවන් මහතාට එරෙහිව එම සමාගමේ අධ්‍යක්ෂවරුන් වන සුජීව විමලනාත් වීරරත්න, ශිරෝනි චම්පා සේනානායක, ටිරන් කුමාර බංගගමආරච්චි සහ ධම්මිකා ආර්. සිරිවර්ධන යන මහත්ම මහත්මීන් විසින් මෙම අභියාචනය ගොනු කර තිබුණි. 2022 ජූනි 24 වන දින කොළඹ වාණිජ මහාධිකරණය ලබා දුන් තීන්දුවකට එරෙහිව ඉදිරිපත් වූ මෙම අභියාචනය (SC/CHC/Appeal/18/2023) සලකා බැලූ මහින්ද සමයවර්ධන, ආචාර්ය සෝභිත රාජකරුණා සහ මේනකා විජේසුන්දර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල අද මෙහි තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
කොවිඩ් වසංගත සමයේ ඇති වූ මූල්‍ය අර්බුදය හමුවේ පුවත්පත පවත්වාගෙන යාමට නොහැකි බව පවසමින් වික්ටර් අයිවන් මහතා සමාගම ඈවර කිරීමට ගත් උත්සාහය, ප්‍රධාන කර්තෘ විමලනාත් වීරරත්න මහතා සේවයෙන් ඉවත් කිරීම සහ මුද්‍රණ කඩදාසි සඳහා ප්‍රතිපාදන නොදීම ඇතුළු කරුණු සුළු කොටස් හිමියන්ට කළ පීඩනයක් බව අභියාචකයෝ තර්ක කළහ. කෙසේ වෙතත්, සමාගමක් ඈවර කිරීම පිළිබඳ පෞද්ගලික මතයක් පළ කිරීම හෝ කළමනාකාරීත්වය විසින් ගන්නා ලද ව්‍යාපාරික තීරණයන් පමණක් සමාගම් පනතේ 224 සහ 225 වගන්ති යටතේ “පීඩනයක්” හෝ “වැරදි කළමනාකරණයක්” ලෙස නීතියෙන් අර්ථකථනය කළ නොහැකි බව විනිසුරු ආචාර්ය සෝභිත රාජකරුණා මහතා ලියූ තීන්දුවේ සඳහන් වේ.
ඉදිරිපත් වූ සාක්ෂි මත සුළු කොටස් හිමියන්ට අසාධාරණයක් හෝ පීඩනයක් සිදු වූ බව තහවුරු නොවන බව පෙන්වා දුන් ශ්‍රේෂ්ඨාධිකරණය, වාණිජ මහාධිකරණයේ තීන්දුව නිවැරදි බව නිගමනය කළේය. එහෙත් මෙම තීන්දුව සමාගම් පනතේ අදාළ වගන්තිවලට පමණක් සීමා වූ එකක් බවත්, රාවය දේපළ පාලනය හෝ මහජන ආධාර මුදල් පිළිබඳ පොදු තීන්දුවක් නොවන බවත් පෙන්වා දී ඇත. දීර්ඝ කාලයක් රාවය පුවත්පතේ කර්තෘ ලෙස කටයුතු කළ වික්ටර් අයිවන් මහතා 2025 ජනවාරි මාසයේදී අභාවප්‍රාප්ත වූ අතර, පුවත්පතේ මුද්‍රණ කටයුතු නවතා දැනට වසර හයකට අධික කාලයක් ගතවී තිබේ.


