අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමතිවරයාගේ නියමය පරිදි නව ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත රජය විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමේ මූලික අරමුණින් මෙම නව පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇත.
මෙම නව පනත හරහා ශ්‍රී ලංකාව තුළ සහ ඉන් පිටත දී සිදු කරනු ලබන ත්‍රස්තවාදී ක්‍රියා මෙන්ම, ත්‍රස්තවාදය ආශ්‍රිත වෙනත් වැරදිවලින් මෙරට ජාතික ආරක්ෂාව සහ ජනතාව ආරක්ෂා කිරීම ප්‍රධාන වශයෙන් අපේක්ෂා කෙරේ. තවද, වෙනත් රටවල සිදු කෙරෙන ත්‍රස්තවාදී ක්‍රියාවන් සඳහා සූදානම් වීමට හෝ සැලසුම් කිරීමට ශ්‍රී ලංකා ජනරජයට අයත් භූමිය සහ මෙරට ජනතාව යොදාගැනීම වැළැක්වීම සඳහා ද මීට විශේෂ විධිවිධාන ඇතුළත් කර තිබේ.
එමෙන්ම ත්‍රස්තවාදය පිළිබඳ වරදක් ලෙස සැලකිය හැකි යම් ක්‍රියාවක් සිදුකර ඇති පුද්ගලයින් නීතිය හමුවට ගෙන ඒමේ පූර්ණ ක්‍රියාවලියක් ද මෙම කෙටුම්පතේ අන්තර්ගතය. ඒ යටතේ ත්‍රස්ත සැකකරුවන් අනාවරණය කර ගැනීම, හඳුනා ගැනීම, ග්‍රහණය කර ගැනීම, සිරභාරයට ගැනීම සහ රඳවා තැබීම සඳහා පැහැදිලි නීතිමය රාමුවක් හඳුන්වා දී ඇත. ඊට අමතරව අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම, නඩු පැවරීම සහ ඔවුන්ට නීත්‍යානුකූලව දඬුවම් ලබාදීම සම්බන්ධයෙන් ද පූර්ණ යාන්ත්‍රණයක් මෙමගින් ස්ථාපිත කර තිබේ.
ඒ අනුව, දශක හතරකට අධික කාලයක් මෙරට ක්‍රියාත්මක වූ පැරණි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කර, නවීන ත්‍රස්ත තර්ජනවලට මුහුණ දිය හැකි අයුරින් සකසා ඇති මෙම නව ප්‍රතිත්‍රස්ත නීති පද්ධතිය නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.


