පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට කුමන්ත්‍රණය කළ සහ ආධාර අනුබල දුන් අයට අධිකරණයෙන් දඬුවම් ලබාදීම පිළිබඳව තෘප්තිමත් වන නමුත්, එම තීන්දුවත් සමඟ පාස්කු ප්‍රහාරයේ සියලු කටයුතු අවසන් නොවන බව ජාතික කතෝලික ජනසන්නිවේදන කේන්ද්‍රයේ අධ්යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත පියතුමා අවධාරණය කරයි. උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඊයේ (22) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
පසුගිය දිනවල හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විදෙස් ගමන් තහනමක් පැනවීම තුළින් ඔහුද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැක සහිත පුද්ගලයෙකු බවට පත්ව ඇති බැවින්, එම සැකය දුරු කිරීමට හෝ ඔහුට එරෙහිවත් නඩු පවරා විභාග කොට දඬුවම් ලබාදිය යුතු බව පියතුමා පෙන්වා දුන්නේය. වසර ගණනාවක් සාධාරණය අපේක්ෂාවෙන් සුසුම් හෙළූ වින්දිතයින්ට මෙම තීන්දුවෙන් යම් සැනසීමක් හිමිවන බවත්, ආගමික අන්තවාදී අදහස් ඔස්සේ ජනතාවට අපරාධ කිරීමට බලාසිටින අයට එය හොඳ පාඩමක් වන බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.
කෙසේ වෙතත්, මෙලෙස දඬුවම් හිමිවූයේ ප්‍රහාරයට සම්බන්ධ එක් පාර්ශ්වයකට පමණක් බව පෙන්වා දුන් ජූඩ් ක්‍රිශාන්ත පියතුමා, බුද්ධි අංශවලට ප්‍රහාරය වළක්වා ගැනීමට අවස්ථාව තිබියදී කිසියම් අදිසි හස්තයක මෙහෙයවීම මත එය සිදුවීමට ඉඩහැරියේ බලය ලබාගැනීමේ සැලසුමකට අනුව බවට චෝදනා කළේය. ඒ අනුව, ප්‍රහාරය සහ දේශපාලන බලය ලබාගැනීමේ වුවමනාව එකට එකතු කළ සැබෑ මහ මොළකරුවන් කඩිනමින් අනාවරණය කරගත යුතු බව උන්වහන්සේ අවධාරණය කළහ.
මේ අතර, රහස් පොලිස් භාරයේ පසුවන සුරේෂ් සලේ මහතා මෙතරම් කාලයක් රෝහල්ගත කර තැබීමට තරම් බරපතළ අසනීපයක් ඇතැයි තමන් නොසිතන බව පියතුමා පෙන්වා දුන්නේය. එබැවින් වෛද්‍යවරුන්ගෙන් සැබෑ තොරතුරු ලබාගෙන ඔහුට එරෙහිව නඩු පවරා සාධාරණ විනිශ්චයක් ලබාදිය යුතු බවද උන්වහන්සේ ඉල්ලා සිටියහ.
ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන අයට එරෙහිවද නීති ප්‍රතිපාදන ඔස්සේ වහාම නඩු පැවරිය යුතු බවත්, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලුම පාර්ශ්වයන්ට එරෙහිව පරීක්ෂණ පවත්වා නිසි දඬුවම් ලබාදෙන තෙක් මෙම ක්‍රියාවලිය අවසන් නොවන බවත් ජූඩ් ක්‍රිශාන්ත පියතුමා වැඩිදුරටත් කියාසිටියේය.


