එයාර්බස් ගනුදෙනුවට අදාළව සිදුකෙරෙන විමර්ශන හේතුවෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නාමල් රාජපක්ෂ මහතා ලබන ඔක්තෝබර් මස 13 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (29) නියෝග කළේය.
බන්ධනාගාර භාරයේ පසුවන නාමල් රාජපක්ෂ මහතා අද උදෑසන විශේෂ ආරක්ෂාවක් සහිතව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පමුණුවනු ලැබීය. ඒ, එයාර්බස් ගනුදෙනුවට අදාළ විමර්ශනවලට අමතරව ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු කටයුත්ත උදෙසාය.
ක්‍රිෂ් ගනුදෙනුවේදී සිදුවී ඇතැයි කියන අක්රමිකතාවලට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවේ සිව්වැනි සැකකරු ලෙස නාමල් රාජපක්ෂ මහතා නම් කර තිබේ.
අද දින මෙම නඩු කටයුතු අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, එයාර්බස් සහ ක්‍රිෂ් යන ගනුදෙනු ද්විත්වයටම අදාළව කෙරෙන පරීක්ෂණ සහ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, සැකකාර නාමල් රාජපක්ෂ මහතා ලබන 13 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග ප්‍රකාශයට පත් කළේය.


