දරුවෙකුගේ ආත්මවිශ්වාසය, ගරුත්වය මෙන්ම මානසික යහපැවැත්ම ගොඩනැංවීම උදෙසා අවමානයන් හා ප්‍රචණ්ඩත්වයෙන් තොර නිදහස් වටපිටාවක් සකස් කරදීම අතිශය වැදගත් බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කරයි.
අදට යෙදී ඇති ලෝක ළමා දිනය වෙනුවෙන් සුබපැතුම් එක්කරමින් අගමැතිනිය පෙන්වා දෙන්නේ, නූතන ඩිජිටල් තාක්ෂණික සමාජය තුළ දරුවන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීමේදී ඔවුන්ගේ මනෝසමාජීය සුවතාව පිළිබඳව ද දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි. දරු පරපුර වෙනුවෙන් පවතින වගකීම රජයක් ලෙස නිසියාකාරව හඳුනාගෙන ඇති අතර, අන්තර්ජාලය තුළ මෙන්ම සමාජය තුළ ද දරුවන්ගේ ආරක්ෂාව ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර දැනටමත් ගනිමින් සිටින බව ඇය සඳහන් කළාය.
එමෙන්ම, ළමා ශ්‍රමිකයන් ලෙස සේවයේ යෙදවීම වැළැක්වීම උදෙසා ‘කාන්තාවන්, තරුණ පුද්ගලයන් සහ ළමුන් සේවයේ යෙදවීමේ පනත’ සංශෝධනය කිරීමට රජය කටයුතු කළ බව ද අගමැතිනිය සිහිපත් කළාය. ඒ අනුව, අදාළ වැරදි සඳහා පනවා තිබූ රුපියල් 10,000ක දඩ මුදල රුපියල් 100,000 දක්වා ඉහළ නංවා ඇති අතර, නීතිමය දඬුවම් මෙලෙස දැඩි කිරීම හරහා හානිකර සහ නීතිවිරෝධී රැකියාවලින් දරුවන් මුදා ගැනීමට හැකියාව ලැබෙන බව ද ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.


