කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු අධ්යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පරීක්ෂා කළ විශේෂඥ වෛද්‍යවරුන් දසදෙනාගෙන් සමන්විත විශේෂ මණ්ඩලය විසින් සිය වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත.
එම වෛද්‍ය කමිටුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ තහවුරු කර ඇත්තේ සුරේෂ් සලේ මහතාට ලබාදුන් ප්‍රතිකාර කටයුතු මේ වන විට අවසන්ව ඇති බැවින්, ඔහුට රෝහලෙන් පිටව යාමට පූර්ණ වෛද්‍ය අවසරය හිමිවන බවයි.
අදාළ වෛද්‍ය වාර්තාව සහ තීරණය අධිකරණය හමුවේ කරුණු දක්වමින් තහවුරු කළ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා ප්‍රකාශ කර සිටියේ, රෝහල් ප්‍රතිකාර අවසන් වීමත් සමඟ සුරේෂ් සලේ මහතා අද (06) පස්වරුවේදීම නැවතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) භාරයට ගෙන ඉදිරි විමර්ශන කටයුතු පවත්වාගෙන යාමට පියවර ගන්නා බවයි.

