කච්චතීව් දිවයින සම්බන්ධයෙන් 1974 වසරේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇතිකරගත් ගිවිසුම සහ 1976 වසරේදී ශ්‍රී ලංකා මුහුදු තීරයේ ඉන්දීය ධීවරයන්ගේ ධීවර කටයුතු සීමා කරමින් ඇතිකරගත් ගිවිසුම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සම්බන්ධයෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේදී කරුණු විමසා තිබේ.
එහිදී ඉන්දීය රජය වෙනුවෙන් පෙනී සිටි නීතිපති ආර්. වෙන්කටරාමනි මහතා ප්‍රකාශ කර ඇත්තේ අදාළ ගිවිසුම් සංශෝධනය කිරීමට හෝ අවලංගු කිරීමට ඉන්දීය රජය කිසිදු පියවරක් ගැනීමට අපේක්ෂා නොකරන බවයි.
ශ්‍රී ලංකාව සමඟ පවතින යහපත් ද්විපාර්ශ්වික සබඳතා පවත්වාගෙන යාම ඉන්දීය රජයේ ප්රමුඛ අවශ්‍යතාවක් බවද නීතිපතිවරයා අධිකරණය හමුවේ සඳහන් කර තිබේ. මේ අතර, ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකාවේ උතුරු මුහුදු සීමාවට ඇතුළුවීම සම්බන්ධයෙන්ද නීතිපතිවරයා සිය කණස්සල්ල පළ කර ඇත.
ඉන්දියාවට අයත් මුහුදු සීමාවේ මත්ස්‍ය සම්පත අඩුවීම හේතුවෙන් ඇතැම් ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණෙන බවද ඔහු පෙන්වා දී තිබේ.කෙසේ වෙතත්, ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු නොවන ලෙස ඉන්දීය ධීවරයන් දැනුවත් කිරීමට රජය පියවර ගනිමින් සිටින බවද නීතිපති ආර්. වෙන්කටරාමනි මහතා ප්‍රකාශ කර ඇත.
තවදුරටත් මේ සම්බන්ධයෙන් ඉන්දීය රජය දැනුවත්ව සිටින අතර, අවශ්‍ය පියවර ගන්නා බවද ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සඳහන් කර ඇත.
අදාළ පෙත්සම් සම්බන්ධයෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අවසන් තීන්දුවක් මෙහිදී ප්‍රකාශ කර නොමැති අතර, වැඩිදුර විභාගය 2027 පෙබරවාරි මාසයේදී සිදු කිරීමට නියමිතය.


