වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ නීතිඥ ආචාර්ය අජිත් රෝහණ මහතා අද (08) ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ වසර 38ක සේවා දිවියට සමුදෙමින් විශ්‍රාම ගෙන තිබෙනවා.
ඔහුගේ විශ්‍රාම යාම නිමිත්තෙන් කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේදී විශේෂ පොලිස් ආචාර පෙළපාලියක්ද අද පැවැත්වුණා.
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ලාබාලතම නියෝජ්‍ය පොලිස්පතිවරයා (DIG) ලෙස ඉතිහාසයට එක්වූ අජිත් රෝහණ මහතා, දීර්ඝ පොලිස් සේවා කාලය තුළ විවිධ වගකීම් රැසක් හොබවා ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස සැලකෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසත් කටයුතු කළ නිළධාරීයෙක්.
කොවිඩ්-19 වසංගතය පැවති සමයේ ශ්‍රී ලංකා පොලිසියේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසද අජිත් රෝහණ මහතා කටයුතු කළා.
එම කාලය තුළ රටේ ජනතාවට පොලිස් දෙපාර්තමේන්තුවේ තීරණ, නීතිමය කරුණු සහ වසංගත තත්ත්වය සම්බන්ධයෙන් තොරතුරු සන්නිවේදනය කිරීමේදී ඔහු ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළා.
පොලිස් නිලධාරියෙකුට එහා ගිය නීතිමය පසුබිමක්
අවිස්සාවේල්ල, කොස්ගම ප්‍රදේශයේ උපත ලබා ඇති අජිත් රෝහණ මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකුද වනවා.
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධිය (LL.B) ලබාගත් ඔහු පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙකු ලෙසද දිවුරුම් දී තිබෙනවා.
නීතිවේදී සහ නීතිඥවරයෙකු ලෙසද කටයුතු කර ඇති ඔහු, පොලිස් සේවයේ අත්දැකීම් සමඟ නීතිමය දැනුමද ඒකාබද්ධ කරගත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබුණා.
මහජන සේවය වෙනුවෙන් ගෞරව ආචාර්ය උපාධියක්.
මහජන සේවය වෙනුවෙන් සිදුකළ කාර්යභාරය අගය කරමින් 2020 වසරේදී අජිත් රෝහණ මහතාට ගෞරව ආචාර්ය උපාධියක්ද පිරිනමා ඇති බව සඳහන්.
වසර 38ක් පුරා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව තුළ විවිධ තනතුරු හා වගකීම් දරමින් සේවය කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද එම දීර්ඝ සේවා දිවියට නිල වශයෙන් සමුදුන්නා.


