එයාර්බස් ගුවන් යානා ගනුදෙනුවට අදාළව සිදුවූ බව කියන මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (16) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මන්ත්‍රීවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වීම හේතුවෙන් අධිකරණ භූමිය සහ ඒ අවට ප්‍රදේශවල සාමකාමී තත්ත්වය පවත්වාගෙන යාම සඳහා පොලීසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත.
ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මෙම නව නඩුව ගොනු කර තිබේ. මෙම නඩුවට අදාළව නීතිපතිවරයාගේ උපදෙස් මත ඉකුත් සැප්තැම්බර් 13 වැනිදා නාමල් රාජපක්ෂ මහතා මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනත යටතේ සැකකරුවෙකු ලෙස නම් කරනු ලැබීය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මඟින් එයාර්බස් ගනුදෙනුවේදී අල්ලස් ලබාගැනීමේ චෝදනා මත ඉකුත් සැප්තැම්බර් 04 වනදා නාමල් රාජපක්ෂ මහතාව අත්අඩංගුවට ගත් අතර, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු දැනටමත් ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටියි.
විමර්ශකයන් සඳහන් කරන්නේ 2014 සහ 2015 වසරවලදී සිදුවූ එයාර්බස් ගනුදෙනුවට අදාළ ඇමරිකානු ඩොලර් මිලියන 8ක අල්ලස් මුදලක කොටසක් ලෙස, ව්‍යාපාරිකයෙකු හරහා අවස්ථා කිහිපයකදී රුපියල් මිලියන 100ක මුදලක් නාමල් රාජපක්ෂ මහතා ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී ඇති බවයි. එයාර්බස් සමාගමේ නිලධාරීන්ගෙන් ලබාගත් ප්‍රකාශ, අදාළ ලේඛන සහ සාක්ෂි පදනම් කරගනිමින් මෙම විමර්ශන සිදු කර තිබේ.
මේ අතර, අදාළ එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳට එරෙහිවද විමර්ශන සහ නීතිමය ක්‍රියාමාර්ග දැනටමත් ක්‍රියාත්මක වේ.


