2016 වසරේදී කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වීමේ සිද්ධියට අදාළ නඩුවට අද (21) අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් අද වරෙන්තු නිකුත් කරනු ලැබීය.
ඔහුට එරෙහිව ගොනු කර ඇති මෙම නඩුව අද දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, සැකකාර හිටපු අමාත්‍යවරයා අධිකරණය හමුවේ පෙනී නොසිටි බැවින් මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.
මෙම නඩුවට පසුබිම් වී ඇත්තේ, 2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් සෙයිද් අල්හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී ඊට එරෙහිව පැවැත්වූ උද්ඝෝෂණයකි. එහිදී කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් මෙම විරෝධතාවය පවත්වා තිබුණි.
එලෙස මහජනතාවට සහ රථවාහන ගමනාගමනයට බාධා වන අයුරින් කටයුතු කරමින් මහජන පීඩාවක් සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවකු වශයෙන් නම් කර ඇති හිටපු අමාත්‍යවරයාට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය විසින් මෙලෙස නඩු පවරා තිබේ.


